බුදුදහමට පක්‍ෂ, මරණ දඬුවමට එරෙහි ගල්කන්දේ හිමි

බුදුදහමට පක්‍ෂ, මරණ දඬුවමට එරෙහි ගල්කන්දේ හිමි

11 July 2019 07:06 pm

මරණ දඬුවමට නියම වී සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් අතරින් හතර දෙනකු තෝරාගෙන ඔවුන්ගේ මරණ දඬුවම ක‍්‍ර‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය, කුඩා මනසකින් යුක්තව ගත් තීන්දුවක් බව ඒ සම්බන්ධයෙන් ලැබෙන ප‍්‍රතිචාරවලින් පැහැදිලි වෙයි. ලංකාවේ විවිධ පුද්ගලයන් සැලකිය යුතු පිරිසක්, සංවිධාන, දේශපාලන පක්‍ෂ ගණනාවක් ජනාධිපතිවරයාගේ තීරණයට විරුද්ධ වන අතරේ ජාත්‍යන්තර වශයෙන් එක්සත් රාජධානිය ඇතුළු විවිධ රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ජනාධිපති සිරිසේනගේ මේ අමනොඥ පියවරට දැනටමත් සිය විරුද්ධත්වය පළකර අවසන්ය.

ඒ විවිධාකාර විරෝධය පෑම්වල සුවිශේෂ අවස්ථාවක් වන්නේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට ගෙන ඇති පියවරයි. එයින් එක් නඩුවක්, ජනාධිපති තීරණයට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියචනාධිකරණය ඉදිරියේ ගොනුකර ඇත. හිටපු පුවත්පත් කර්තෘවරයකු වන මාලින්ද සෙනෙවිරත්න එහි පෙත්සම්කරුයි. මාලින්දගේ පෙත්සමේදී සඳහන් කෙරුණු මූලික තර්කය වන්නේ, බන්ධනාගාර ආඥා පනතේ හෝ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ කිසිදු වගන්තියකින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට කිසිදු බලය පැවරීමක් සිදුවී නැති බැවින් එලෙස බලයක් පැවරීමක් නොමැතිව එම බලධාරීන්ට සිරකරුවන් එල්ලා මැරීම කළ නොහැකිය යන්නයි. එම පෙත්සම මේ වනවිට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචනාධිකරණයේදී විභාග වෙයි. එය විභාග කොට අවසන් වන තුරු කිසිවකු එල්ලා නොමරනු ඇත. එය පවා ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතිකත්වයට එල්ලවුණු ප‍්‍රහාරයකි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක පෙත්සම්කරුවෝ 11 කි. පළමුවැන්නා ගල්කන්දේ ධම්මානන්ද හිමිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධම්මානන්ද හිමි වල්පොල රාහුල ආයතනයේ ප‍්‍රධානියාය. මහානායක හිමිවරුන් ඇතුළු බහුතර බෞද්ධ භික්‍ෂු සංඝයා මුස්ලිම් හා දෙමළ මිනිසුන්ගේ සතුරන් ලෙස ජාතිවාදීව ක‍්‍රියාකරද්දී සිය ජාතිවාදී මත තහවුරු කිරීම සඳහා බුදුදුහම පවා පාවාදෙද්දී ගල්කන්දේ හිමි නියම බුද්ධාගමේ ඇති සහජීවන ගුණයත් සංහිඳියාවේ වැදගත්කමත් මිනිසුන්ට දේශනා කරමින් සිටියි. මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නට එහිමියන් ඉදිරිපත් වන්නේද ඒ බුද්ධිමය විශේෂත්වය නිසාය. ගල්කන්දේ හිමියන් සමග දුලිප් ඩි චිකේරා බිෂොප් හිමි, ෂාවුල් හමීඩි මොහොමඩ් ෆලීල්, රසිකා පීරිස් සහෝදරතුමිය, ආචාර්ය තාරා ද මැල්, හර්ෂ ගුණසේන, මහාචාර්ය හේමන්ත සේනානායක වැනි සමාජයේ කැපී පෙනෙන බුද්ධිමත්හු පිරිසක් මෙහි පෙත්සම්කරුවෝ වෙති.

ඔවුන්ගේ මූලික තර්කය වන්නේ ජනාධිපතිවරයාගේ තීරණය නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡෙදයේ 12 ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන නීතිය ඉදිරියේ සමානත්වය නමැති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවය.

ජීවිතයට ඇති අයිතිය යනු මුලික අයිතිවාසිකම්වලද මූලික අයිතියක් වන බව ඔවුන්ගේ පෙත්සමේ සඳහන්ය. සෑම ශිෂ්ටසම්පන්න සමාජයක්ම ජීවත්වීමට ඇති අයිතිය පිළිගන්නා බවද එහි කියයි. ලෝකයේ ප‍්‍රධාන ආගම් සියල්ලක්ම පාහේ එනම් බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම්, කතෝලික යන එම හැම ආගමකින්ම ජීවත්වීමේ අයිතිය පිළිගෙන ඇත.

1976න් පසු ලංකාවේ සියලු රජයන් සියලු ජනාධිපතිවරුන් මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකිරීමට වගබලාගෙන ඇත. ඊට අමතරව 2016 දෙසැම්බර් 19 හා 2018 දෙසැම්බර් 17 යන දිනවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරවලදී මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකිරීම සඳහා ඉදිරිපත්වුණු යෝජනා දෙකකටම පක්‍ෂව ශ‍්‍රී ලංකාව සිය ඡන්දය පාවිච්චි කොට ඇත. ඒ අවස්ථා දෙකේමදීම රටේ ජනාධිපතිිවරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා වන අතර, 2018 අවසානයේදී යෝජනාවට පක්‍ෂ වනවිට අගමැති ධුරයේ සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාය.

වර්තමාන විරුද්ධ පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂද මරණ දඬුවමට විරුද්ධය. දෙමළ ජාතික සන්ධානයද විරුද්ධය. ජනතා විමුක්ති පෙරමුණද විරුද්ධය. මරණ දඬුවමට එරෙහි රජයේ ප‍්‍රතිපත්තිය මේ වනතෙක් වෙනස් වී නැත. මේ තත්ත්වය මත මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නට යැයි නියම කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත.

මේ වනවිට විවිධාකාර වරදවලට අදාළව මරණ දඬුවම නියම වී සිටින 1600 කට අධික පිරිසක් බන්ධනාගාරවල සිටිති. ඔවුහු දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ බන්ධනාගාරගතව සිටිති.

ලංකාවේ මරණ දඬුවම දීමට භාවිත කරන ක‍්‍රමය වන්නේ බෙල්ලෙන් එල්ලා මැරීමයි. එසේ එල්ලන ලද පුද්ගලයෙක් වහාම මරණයට පත් නොවේ. ඒ උගුරු දණ්ඩ ක්‍ෂණයකින් නොබිඳෙන හෙයිනි. සිරකරු හෙමින් මරණයට පත්වෙයි. වහාම මරණයට පත් නොවන සිරකරු තොණ්ඩුවෙන් මුදාහැර මරණයට පත්වන තුරු තැබිය යුතු වේ. එල්ලීමෙන් ඇතිවන බලය නිසා පුද්ගලයාගේ හිසත් කඳත් අතර සම්බන්ධය නැතිවේ. එල්ලීමේ ප‍්‍රතිඵලය ලෙස හිසත් ශරීරයත් අතර පරතරය අඟල් ගණනක සිට අඩිය දක්වා දිගෑදිය හැකිය. එල්ලා මරන අවස්ථාවේදී රුධිරය සහ වෙනත් ස‍්‍රාවයන් සිරකරුගේ ඇස්වලින් හා සිරුරෙන් පිටතට පැමිණෙයි. ලංකාවේ සිදු කළ අවසන් එල්ලා මැරීමේදී එම සිරකරු මරණයට පත්වුණේ එල්ලා මැරීමෙන් මිනිත්තු 18 කට පසුව, දැඩි වධයක් විඳීමෙන් අනතුරුවය. මේ නිසා මිනිසකු එල්ලා මරා දැමීම යනු ක‍්‍රෑර අමානුෂික වධයකට හා දඬුවමකට යටත්කිරීමකි.

අනෙක් අතට සිරකරුවන් හතර දෙනකු තෝරාගත් ආකාරය විනිවිද පෙනෙනසුලූ නැත. ඒ නිසා නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකුම් ලැබීමට ඇති අයිතිය අහිමි වේ. මේ නිසා ජනාධිපතිවරයාගේ තීරණය මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සලකා අත්හිටුවන්නට නියම කරන මෙන් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

anidda.lk