රටකට අපරාධ නීති දෙකක් බැහැ (VIDEO)

රටකට අපරාධ නීති දෙකක් බැහැ (VIDEO)

11 July 2019 02:00 pm

දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් නොවන වරදකට සිවිල් සමාජයේ කිසිවෙකුට හෝ දඬුවම් පැමිණවීමේ  හැකියාවක් නොමැති බව පිළිගත යුතු යැයි හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය.

හකීම් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අදහස් දක්වමිනි. 

ඉස්ලාම් ධර්මයට අනුව වැරදිවලට දඬුවම් පැමිණවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්මය පාසල් පෙළ පොතේ සටහන්ව පැවති ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් විමසීමට ඊයේ පැවති කාරක සභාව හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා කැඳවා තිබූ අතර විෂයගත කරුණු සම්බන්ධයෙන් කමිටුවට සාක්ෂි සැපයීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතාද පැමිණ සිටියේය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම මත කමිටුව විසින් ජයන්ත වික්‍රමනායක මහතාට සාක්ෂි සැපයීමට අවස්ථාව ලබාදුන්නේය. 

ඉස්ලාම් ධර්මය 1981 වසරේ මුද්‍රණය සහ 2000 වසර මුද්‍රණය තුළ දක්වා ඇති පරිදි "රිද්දත්" අපරාධය දක්වා ඇති අතර අවවාද කිරීමේ පසු දඬුවම මරණය ලෙස දක්වා තිබේ.

මෙවැනි ඉගැන්වීමක් පිළිගත හැකිද යන ප්‍රශ්න මතු වූයේ මෙම කාරක සභාව හමුවේ මීට පෙර සාක්ෂි සැපයූ රිශ්විත් නිශාමන් නැමැත්තා ලබා දුන් ආන්දෝලනාත්මක සාක්ෂියෙන් පසුවය. 

එහෙයින් එම කාරණය සම්බන්ධයෙන් විමසීම සඳහා කාරක සභාව විසින් අමාත්‍යාංශය ලේකම්වරයා කැඳවා තිබුණි. 

කෙසේවෙතත් 2013 වසරේ නව මුද්‍රණයේ දී මෙම කාරණය සංශෝධනය වී ඇති බවයි ජයන්ත වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව ඊට අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා පැවසුවේ කාලානුරූපීව ඉස්ලාම් ධර්මයේ කරුණු වෙනස්වී ඇති බවයි. 

ASK