ජනාධිපතිවරණය 2020 :ධම්මික පෙරේරා - සැලසුමක් සමග මිනිසෙක්

ජනාධිපතිවරණය 2020 :ධම්මික පෙරේරා - සැලසුමක් සමග මිනිසෙක්

30 June 2019 09:16 am

චානුක වත්තේගම විසිනි (චානුක වත්තේගම විද්වතෙක් සහ ප්‍රතිපත්ති පර්යේෂකයෙකි. chanuka@gmail.com හරහා ඔහු සමග සම්බන්ධ විය හැකිය. මෙම ලිපිය සඳහා බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න (writerkaru@gmail.com) සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, මා මීට නැවත නැවතත් ලියා ඇති පරිදි, දිගු කලක් ඔත්පළව රජයේ රෝහලක ඇඳක් මත සිටින රෝගියෙකි. එම රෝගියාගේ ඥාතීන් වන අප, සන්සුන් ව කල්ගත කරන්නේ ඔහු ඇය හෙට මිය යාවේ අවදානමක් නොපෙන්වන නිසාය.

කෘතිම  බුද්ධිය (AI) සම්බන්ධයෙන් ඔහු මෑතක පටන් දක්වන දැඩි උනන්දුව සියලු සැලසුම්වල දැකගත හැක්කේ යැයි යමෙකුට අපේක්ෂා කළ හැකිය. ‘ඩිජිටල් ක්‍රමෝපායික සැලසුම්‘වල වැඩි කොටස මගින් මනුෂ්‍යයා විසින් පෙන්වන ස්වභාවික බුද්ධිය මත වැඩ කරමින් ඒවා ක්‍රියාවට නැංවීම යෝජනා කෙරෙයි.

ටයිරන් ලැනිස්ටර් ගේ භාෂාවට අනුව ඔහුට කීමට කතාවක් තිබේ. මේ දක්වා පෙනී යන්නේ, 2020-25 සමයේ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගැළපෙන එකම කතාන්දරය එය පමණක් බවයි. එය එසේ නම්, ශ්‍රී ලංකාවේ මධ්‍යම ආදායම් උගුල කඩා දැමිය හැකි ප්‍රධාන පෙළේ සැලසුමක් ඇති එකම දේශපාලඥයා (හෝ එකම පුද්ගලයා) ධම්මික පෙරේරා වේ.

දළ ජාතික නිෂ්පාදනය ඩොලර් 8000 දක්වා ඉහළ නැංවීම ? හොඳයි.. මෙය අමාත්‍ය කාර්යාලය වෙතින් භාණ්ඩාගාරය වෙත ආ යුතු සැලසුමකි. ධම්මික පෙරේරා එක් අංශයක් වෙත පමණක් අවධානය යොමු කරනවා නොවේ. අංශ ත්‍රිත්වයේම වටිනාකම තෙගුණ කිරීම (මෙය මා ඔහු සමග එකඟ නොවන එක් කරුණකි) ඔහුගේ සැලසුමයි.

මේ ලියන මොහොත දක්වාම, ධම්මික පෙරේරා 2020 ජනාධිපතිවරණට ඉදිරිපත් වීම පක්ෂයකට අදාළව ගත් තීරණයක් නොවේ. එය ඕනෑම කෙනෙකුට සම්පූර්ණයෙන්ම වටහා ගත හැකිය. ඔහු විසින් දේශපාලන බලවේගයක් නියෝජනය නොකරන අතර, ඔහු කිසිදා දේශපාලන චරිතයක් බවට ද පත් ව නැත.

සිදුවිය යුතුව තිබුණේ එය නම්, රටේ ඉහළම ධුරය සඳහා වූ තරගයට ඔහුගේ අවතීර්ණ වීම කිසිදු විටෙක සම්ප්‍රදායික ආකාරයකින් සිදු නොවනු ඇත. එය සුසමාදර්ශී  විතැන්වීම  (paradigm shift) කි. සුසමාදර්ශී විතැන් වීම් කිසිදු විටෙක කලින් කියමින් සිදුවන ඒවා නොවේ.

එනිසා එම ප්‍රවෘත්තිය පැමිණිය යුතුව තිබෙනවා නම් එය පැමිනෙනු ඇත්තේ වඩාත්ම බලාපොරොත්තු විරහිත මොහොත, කිසිදු විටෙක බලාපොරොත්තු නොවූ ආකාරයකට ය.

මෙවැනි සුසමාදර්ශී විතැන් වීම් සිදුවිය හැකි දේවල්ද? එකවරම සටනට අවතීර්ණ වන, කිසිම ආකාරයක දේශපාලනයේ පෙර අත්දැකීමක් නැති අයෙකුට, තමන්ව ජනාධිපති බවට පත්කරමින් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද? ඇයි නැත්තේ..?

(එවකට) ජනරාල් සරත් ෆොන්සේකා 2010 වසරේදී ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූ විට මිලියන 4.2 ක් වූ ඡන්ද දායකයන් ඔහුට සිය කැමැත්ත පළ කළේ ඔහු වෙත කිසිදු පෙර දේශපාලන අත්දැකීමක් නොමැති බව නොසලකා හරිමිනි. (මෙහිදී මම, දේශපාලන පවුල්වලින් පැවතගෙන එන සහ දේශපාලන රික්තකයන් පිරවූ දේශීය චරිත සහ දකුණු ආසියාවේ ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි, සිරිමා බණ්ඩාරනායක, බෙනාසීර් භූතෝ, ෂෙයික් හසීනා, ඛලීඩා ෂියා වැනි චරිත මග හැර යමි).

එසේ පවසන අතරම, මෙසේ වීම ලෝකයේ පෙරදිග භාගයේ සම්මත ක්‍රමය නොවන බව ද සිහිපත් කරමි. වෘත්තිකයන්ගෙන් වැඩි දෙනා මහ මැතිවරණයකදී පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීම සඳහා වුව තවමත් පළමු උත්සාහය දරන්නේ ජාතික ලැයිස්තුවෙනි. එනිසා ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය ගැන කතාකිරීම පසෙක තබන්න.

කාර්මීකරණය වූ ලෝකයේ නම් මේ තත්වය වෙනස් ය. මේ සම්බන්ධයෙන් වඩාත්ම උනන්දු සහගත චරිත දෙක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රොස් පෙරොට් ය. රොස් පෙරොට් ඇමරිකානු ව්‍යාපාරික ධන කුවේරයෙකු සහ ඉලෙක්ට්‍රොනික් ඩේටා සිස්ටම්ස් හා පෙරොට් සිස්ටම්ස් හි ප්‍රධාන විධායක නිලධාරියා සහ නිර්මාතෘවරයා විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය සඳහා තමන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව 1992 වසරේදී පෙරොට් නිවේදනය කර සිටියේය. සම්ප්‍රදායික දේශපාලනඥයන් කෙරෙහි පැවති බිය හේතුවෙන් ඇමරිකානුවන්ගෙන් විශාල කොටසක් ඔහුට වහාම අනුමැතිය පළ කර සිටියේය.

මැතිවරණයට පෙර ජන නියැදියක් ඇසුරෙන් 1992 වසරේ ජන මතය විමසා බැලූ විට පෙනී ගියේ පෙරොට්, ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් යන දෙදෙනාටම වඩා ජනප්‍රියතාවය අතින් ඉදිරියෙන් සිටින බවයි. එයින් පෙනී ගියේ පෙරොට් ඡන්ද දායකයන්ගෙන් 39%ක් දිනාගෙන ඇති බව ( මේ වන විට බුෂ් 31%ක් සහ ක්ලින්ටන් 25%ක් විය)ය. අවාසනාවකට මෙන් ජූලි මාසයේදී ජනාධිපතිවරණ තරගයෙන් තාවකාලික ලෙස ඉවත් කිරීම සහ නැවත තරගයට පැමිණීමට පෙර සති කිහිපයක් නිහඬව සිටීම හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වයට බරපතළ හානියක් සිදු විය. 

පසුව ඔහු සඳහන් කළේ ඔහු ඉවත් වී සිටීමට හේතුව, රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවන්නන් විසින් සිය දියණියගේ විවාහ මංගල්‍යයට බාධා කිරීමට වෑයම් කිරීම බවයි. එවිට ප්‍රමාද වැඩි ය. ක්ලින්ටන් මිලියන 45 ක් ඡන්ද ලබා ජයගන්නා විට පෙරොට් ජනප්‍රිය ඡන්ද මිලියන 19 ක් ලබා තෙවැනි තැනට පත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව බොහෝ දෙනෙකු හොඳින් දන්නා කතාවකි. රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසීමට පෙර ඔහු දළ වශයෙන් ව්‍යාපාර 500 කට වඩා හිමිකම ඇති, එයින් භාගයක් පමණ සෘජු ලෙස ඔහුගේ නමින් පැවති සහ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600 ඉක්මවූ ‘ද ට්‍රම්ප් ඕගනයිසේෂන්‘ හි හිමිකරු විය.

ට්‍රම්ප් සාර්ථක වූයේ ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසි නිසා ය. මෙහිදී මෙම මාර්ගය පෙහෙලි කළ පුද්ගලයා වන්නේ පෙරොට් ය. 2017 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක තනි පුද්ගල වත්කම් හිමි ව සිටි ට්‍රම්ප් ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත් වූ ධනවත්ම පුද්ගලයා මෙන්ම, පූර්ව හමුදා හෝ රජයේ සේවයේ අත්දැකීම් නොමැතිව ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථමයා විය.

මෙම පූර්වාදර්ශය, එම සිදුවීම ම නැවත සිදුවීම සඳහා දේශීය දේශපාලනයට බරපතළ ලෙස සලකා බැලීම සඳහා එනයින්ම පූර්වාදර්ශයක් වේ. 1940 දශකයේ සිට 2015 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් ක්‍රම ක්‍රමයෙන් දේශපාලන පක්ෂවලින් ඈත් වෙමින් සිටින හෙයින් මෙය, ඉහළ ඉලක්කයක් වෙත ළඟා විය හැකි ඉහළ අවදානමක් සහිත පරීක්ෂණයක් කර බැලීම ට හොඳම වේලාව ද විය හැකිය.

මෙම පසුබිමේ සිට ලියැවෙන මෙම ලිපිම මගින් ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වීමට සුදුසුදැයි විමසා බැලේ. මෙය, මෙබඳු ලිපි මාලාවක තෙවැන්නයි. මීට පෙර ගෝටාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මේ සඳහා සුදුසුදැයි මා විසින් විග්‍රහ කර  තිබේ.

ඔහු තෝරා පත් වනු ඇතැයි පූර්වාපේක්ෂණය කිරීමෙන් වැළකී මෙහිදී සිදු කෙරෙන්නේ මේ අවස්ථාවේදී ධම්මික පෙරේරා ට සිදුකළ හැකි සමාජ ආර්ථික බලපෑම අගැයීමට ලක් කිරීමයි.  

මධ්‍යම ආදායම් උගුල කඩා දැමිය හැකි මිනිසෙක්

යමෙකු ධම්මික පෙරේරා ව බරපතළ ලෙස සලකා බැලිය යුත්තේ ඇයි? ඔහු ප්‍රථම සහ තවමත් සිටින එකම දේශීය වශයෙන් හැදී වැඩුණු ඩොලර් බිලියනපතියා වන නිසාද? 2013 වසරේ පටන් මේ දක්වා ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ ලොකුම කෝටිපතියා ලෙස නම් කරන නිසාද? ඉතා කුඩා තැනකින් පටන් ගෙන ඉහළමට ගිය, සිය අරමුණු සාක්ෂාත් කර ගන්නෙක් නිසාද? ඔහු, පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ද ඉහළම කළමනාකාර ධුරයන්හි අත්දැකීම් ඇති පුද්ගලයෙක් වන නිසාද?

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහුට ‘සැලසුමක් තිබීම‘ යි. ටයිරන් ලැනිස්ටර් ගේ භාෂාවට අනුව ඔහුට කීමට කතාවක් තිබේ. මේ දක්වා පෙනී යන්නේ, 2020-25 සමයේ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගැළපෙන එකම කතාන්දරය එය පමණක් බවයි. එය එසේ නම්, ශ්‍රී ලංකාවේ මධ්‍යම ආදායම් උගුල කඩා දැමිය හැකි ප්‍රධාන පෙළේ සැලසුමක් ඇති එකම දේශපාලඥයා (හෝ එකම පුද්ගලයා) ධම්මික පෙරේරා වේ.

‘මධ්‍යම ආදායම් උගුල‘ යනු ඇතැම් රටවල්, අතිශය දුගී භාවය අඩු කර ගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගත් සහ ව්‍යූහාත්මක වෙනස්කම් හා වර්ධනයේ වෙනස්කම් අත්දකින, එනමුත් මධ්‍යම පන්තික ආදායම් සහිත තත්වයේ සිට පූර්ණ වශයෙන් සංවර්ධනය වූ තත්වයට ළඟා වීමට ඇතැම් රටවල් අසමත් වන්නේ මන්ද යන්න පැහැදිලි කරන තාක්ෂණික යෙදුමකි.

මෙය දත්ත මගින් ඉතා හොඳින් විස්තර කරයි. තායිලන්තය 2008 වසරේදී ඩොලර් 4000 ක දළ දේශීය නිෂ්පාදනයකට ළඟා විය. වසර 11 කට පසුව එය ළඟා වී තිබෙන්නේ ඩොලර් 6500 ක දළ දේශීය නිෂ්පාදනයක් වෙත පමණි. මේ තත්වය දකුණු ඇමරිකාවේ සහ දකුණු අප්‍රිකාවේ වඩාත් ප්‍රකටව පෙනේ. මෙම කලාපයේ සියලුම රටවල් පාහේ  2005-2010 අතර කාලයේ ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ළඟා වූ අතර, දශකයට පසුව ද ඒවා තවමත් ඇමරිකානු ඩොලර් 6000 සීමාවේ සිර වී සිටියි.

මෙය ඉහළ තත්වයකට ළඟා වූ රටවලට කිසිසේත්ම අදාළ නැත. චීනය ඒ සඳහා හොඳම නිදසුනයි. මැද පෙරදිග රාජධානිය ඇමරිකානු ඩොලර් 4000 සීමාව සලකුණු කළේ 2010 තරම් මෑතකදී ය. නමුත් 2017 වසර වන විට එය දෙගුණයකටත් වඩා වැඩි වී ඇමරිකානු ඩොලර් 8826 ක් දක්වා ළඟා වී ඇත. අනෙක් අතින්, සියලුම දේශපාලනික කුණාටු සමග මාලදිවයින එම වර්ෂයේදීම ඇමරිකානු ඩොලර් 10,000 කට අධික දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේය.

මේ අනුව මෙම තත්වයට රටක් කුඩා ද විශාල ද යන්න සම්පූර්ණයෙන්ම අනනුකූල ය. මේ වෙනස පැමිණෙන්නේ රටකට ක්‍රමෝපායික සැලසුමක් තිබෙන්නේ ද නැතිද යන්න මත ය. කුඩා ආර්ථිකයන් දෙකක් වන මාලදිවයින සහ මොරිෂස් දූපත් සංචාරක කර්මාන්තය වැනි ඇතැම් කර්මාන්තවල ඉතාම කදිමට ක්‍රියාත්මක වෙමින් සිටිති. ඉන්දියාව විසින් සිය වෙළඳපොළ 1992 වසරේදී විවෘත කළ අතර, 2018 වන විට එය ඇමරිකානු ඩොලර් 1940 ක දළ දේශීය නිෂ්පාදිතයක් වෙත ළඟා වෙමින් සිටියේය.

මෙහිදී, උපමහද්වීපයේ අති ජනාකීර්ණ වීදිවල මිලියන ගණන් දුගී ජනයා එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අරගල කරමින් සිටියදී ගෝව, දිල්ලි සහ සිකිම් යන ප්‍රාන්ත පමණක් ලංකාවේ එම අගය ඉක්මවා ගොස් තිබේ. නමුත් තමිල්නාඩුව වැනි තවත් ප්‍රාන්ත ගණනාවක් සිය ඉහළම ආර්ථික වර්ධන වේගය මේ වන විට පෙන්වමින් සිටිති.

මේ අතර සැලකිය යුතු ජනගහනයක් සිටින චීනය ෂැංහයි, ෂෙන්සෙන් සහ ගුවන්ෂු වැනි නගර සඳහා හඳුන්වා දුන් කේන්ද්‍රීය සැලැස්මක්සමග ඊටත් වඩා ඉතාම හොඳින් සිය ආර්ථිකය වර්ධනය කර ගනිමින් සිටිති. ඉන්දියාවට මෙම නිෂ්පාදිතය වෙත ළඟා වීම සඳහා තවත් අවුරුදු 20 ක්වත් ගත වනු ඇත.

නැත. ඇතැම් අවස්ථාවලදී ඉතිහාසය හෝ ස්වභාවික සම්පත් මේ සඳහා බලපාන්නේ වුවද, මෙහිදී වැදගත් වී තිබෙන්නේ ඉතිහාසයේ හෝ ස්වභාවික සම්පත්වල විශාලත්වය නොවේ. එය රඳා පවතින්නේ යම් රටක් ගෝලීය ආර්ථික සිතියම තුළ තමන්ගේ ඉදිරි ගමන ක්‍රමෝපායික ලෙස සැලසුම් කර ගන්නේ කෙසේද යන්න මත ය.

මේ අනුව, ප්‍රධාන ආර්ථික සැලැස්මක් පැවතීමේ වැදගත්කම අප සියලු දෙනාට ධම්මික පෙරේරා සමග එකඟ විය හැකි කරුණකි. අප පියවරක් ඉදිරියට තබන්නේ නම්, තමන් සඳහා ඉතා හොඳ ‘ක්‍රියාවට නංවන්නෙක්‘ වන ධම්මික පෙරේරා රට සඳහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවට නංවන්නෙක් බවට පත්වනු ඇත. මෙය සරල තර්කයකි. රටක් දියුණු කළ හැක්කේ කෙසේදැයි දන්නේ තමන් දියුණු වන්නේ කෙසේදැයි දන්නා පුද්ගලයා පමණි. ඔහු කෙසේ හෝ ජයගන්නා අයෙකු ද නොව, එහිදී ලකුණු ලබා ගනිමින් ජයගන්නා ආයකෙි.

කේන්ද්‍රීය සැලසුම් තවමත් වැදගත්ද?

කේන්ද්‍රීය සැලසුම්කරණය කිසිසේත්ම අලුත් දෙයක් නොවේ. 1972-76 වසර සඳහා ශ්‍රී ලංකාවේ පස් අවුරුදු සැලැස්මක් විය. නමුත් එය කිසිසේත්ම සාර්ථක කර ගත හැකි අන්දමේ එකක් නොවීය. 1951 වසරේ පටන් ඉන්දියාවට පස් අවුරුදු ජාතික සැලසුම් 12 ක් තිබූ අතර, ඒවා ක්‍රියාවට නංවා අධීක්ෂණය කිරීම සැලසුම්කරණ කොමිසම විසින් සිදුකරනු ලැබිණි. මේවායින් පළමුවැන්න නිදහස ලැබූ වහාම ඉදිරිපත් කෙරුණේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ සමාජවාදී දේශපාලනික බලපෑම ද මත ය. එකී මුල් අරමුණු සහ ව්‍යූහාත්මක බව වෙළඳපොළ ආර්ථියන්ට වැඩි බරක් ලබා දෙමින් වෙනස් කර ඇති නමුත් කේන්ද්‍රීය සැලසුම්කරණය තවමත් ඉන්දියාවේ සිදු වෙමින් පවතියි.

වඩාත්ම ජනප්‍රිය වූ සහ විටෙක වඩාත්ම සාකච්ඡාවට මෙන්ම විවේචනයට ද බඳුන් වූ කේන්ද්‍රීය සැලසුම්කරණය සිදුවූයේ ලෙනින්වාදී සහ ස්ටාලින්වාදී රුසියාව/ සෝවියට් දේශය තුළ ය. ‘ගොස්ප්ලෑන්‘නම් වූ එය 1921 වසරේදී මුලින්ම නිර්මාණය කරනු ලැබිණි. ආයතනයික භූමිකාව 1929 වසරේදී වැඩිදියුණු කෙරුණේ සීඝ්‍ර කාර්මීකරණය සහ ආර්ථිකය තුළ පුද්ගලික අංශය සුවිශේෂී ලෙස දුබල කිරීම ක්‍රියාවට නැංවෙන විට ය.

ගොස්ප්ලෑන්, ආණ්ඩුවේ සැලසුම්කරණ අංශවල ප්‍රධානත්වය ඉසුළූ අතර, මේ දක්වා ආර්ථික පරිපාලනයේ වඩාත්ම වැදගත් වූ ඒජන්සිය විය. එහි සැලසුම්කරුවන්ගේ කාර්යය වූයේ සැලසුම් කළ ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සම්පත් සහ අවශ්‍යතා සමතුලිත කිරීමයි.

ෆ්‍රෙඩ්රික් හයෙක්, ලුඩ්විග් වෑන් මිසෙස් සහ ජෝසප් ෂුම්පීටර් ඇතුළත්ව, ප්‍රධාන වශයෙන් ආර්ථිකය පිළිබඳ ඔස්ට්‍රියානු ගුරු කුලයට අයත් ලිබරල් ආර්ථික විශේෂඥයන් විසින් ගොස්ප්ලෑන් සැලසුම්කරණය විවේචනය කර තිබේ. මෙහි ප්‍රධාන විවේචනය වූයේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපහසු වීම සහ, අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට නොහැකි වීමයි.

ගොස්ප්ලෑන් සැලසුම්කරණය සාර්ථක වන්නේ ද නැතිනම් අසාර්ථක වන්නේ ද යන්න රඳා පවතින්නේ ඔබ ගනු ලබන්නේ කුමන ආකාරයේ ආර්ථික ස්ථාවරයක් ද යන්න මත ය. හිට්ලර් ව දෙවැනි ලෝක යුද්ධයේදී ස්ටාර්ලින්ග්‍රෑදයේදී පැරදවූයේ අතිශය අහිතකර කාලගුණය විසින් පමණක් නොව, ගොස්ප්ලෑන් සැලසුම්කරණය මගින් නිපදවා තිබු හමුදා උපකරණ සහ මෝටර් රථ ද නිසා ය.  

සෝවියට් දේශය 1954 වසරේදී ස්පුට්නික් චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශය ට ගිය ලෝකයේ පළමු රට බවට පත්වූයේ ගොස්ප්ලෑන් නිසා ය. පසුව ලයිකා නිසා සතුන් අජටාකාශයට යැවූ ලෝකයේ පළමු රට බවටද, යූරි ගගාරින් සහ වැලන්ටිනා තෙරස්කෝවා සමග පළමු මානවයන් අජටාකාශයට යැවූ ලෝකයේ පළමු රට බවට ද සෝවියට් දේශය පත්වූයේ ගොස්ප්ලෑන් නිසා ය.

පළමු ලෝක යුද සමයේදී රුසියාව යුරෝපයේ දුප්පත්ම රට විය. ග්‍රාමීය කෘෂිකර්මාන්තය හැරුණු විට කිසිවක් එහි නොතිබූ තරම් ය. නමුත් වසර 25 කට ආසන්න කාලයකට පසුව රුසියාවේ භූමිකාව දෙවන ලෝක යුද්ධය මිත්‍ර හමුදාව විසින් ජයගැනීම සඳහා තීරණාත්මක වූවා පමණක් නොව, යුරෝපයෙන් හරි අඩක් සෝවියට් සංගමය යටතට ගෙන ඒමට ද එයින් සිදු විය. ස්ටාලින් පශ්චාත් යුධ සමයේ සෝවියට් දේශය නැවත ගොඩනැංවීමේ යෙදී සිටියේ, 1949 වසරේ න්‍යෂ්ටික ආයුධයක් නිපදවන අතරවාරයේ ය.

මෙම පරිච්ඡේදයේ වාර්තා වූ සියලු කෘෘරත්වයන්, මහා භීතිය හා සයිබීරියාවේ ශ්‍රම කඳවුරු මධ්‍යයේ, 1953 වසරේ ස්ටාලින් මිය යන විට සෝවියට් දේශය කාර්මිකමය සුපිරි බලවතෙක් බවට පත්ව සිටියේය. ගොස්ප්ලෑන් විසින් ලබාගත් සැබෑ ජයග්‍රහණයන් තිබිණි. සෝවියට් සංගමයේ කේන්ද්‍රීය සැලසුම්කරණය පිළිබඳ ස්ථිරසාර නිගමනයකට එළඹීම සඳහා ප්‍රමාණවත් දත්ත අපට නොමැති වූ පමණින්, ගොස්ප්ලෑන් සම්පූර්ණයෙන් අසාර්ථක වී යැයි පැවසීම අසාධාරණ ය.   

මේ වන විට ලංකාවේ ආර්ථිකය: අප්‍රේල් 21 සිදුවීම්වලින් පසු තවදුරටත් දුර්වලයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, මා මීට නැවත නැවතත් ලියා ඇති පරිදි, දිගු කලක් ඔත්පළ ව රජයේ රෝහලක ඇඳක් මත සිටින රෝගියෙකි. එම රෝගියාගේ ඥාතීන් වන අප, සන්සුන් ව කල්ගත කරන්නේ ඇය අද හෙට මිය යාවේ අවදානමක් නොපෙන්වන නිසා ය. ඇය කතා කරයි. සෙස්සන්ට ඇහුම්කන් දෙයි. ඔවුන් පවසන දේවල් තේරුම් ගනියි. ඉල්ලීම් කරයි. බෙහෙත් බීම, ආහාර ගැනීම සහ නිදා ගැනීම ද සිදු කරයි.

නමුත් ඇය තවදුරටත්, තමන්ගේ දෙපයින් සිට ගැනීමට අසමත් - රෝගී කාන්තාවකි. බොහෝ රෝගීන් මෙන්ම ඇය ද කාලයෙන් කාලයට සුවපත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. එවිට අප තිගැස්සෙන අතර, ඇයව රෝහලෙන් ඉක්මනින්ම ගෙදර එවනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. නමුත් එකී ‘හොඳ කාලය‘ දුක්බර ලෙස ඉතා ඉක්මනින් අවසන් වෙයි.

අප්‍රේල් මාසයේ හටගත් පාස්කු සිදුවීම් මගින් මේ තත්වය තවදුරටත් පිරිහීමට ලක් කර ඇත. සාමාන්‍යයෙන් ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක වාර්ෂික ආදායමක් ගෙන එන සංචාරක කර්මාන්ත අංශය ‍මේ වන විටත් අඩපණ වී තිබේ. මෙයට 17 වසරකට පෙර බාලි දූපත්වල කුටා බෝම්බ ප්‍රහාරය සිදුවීමෙන් පසු සංචාරක කර්මාන්තය නැවත යථා තත්වයට පත්වීමට වසරකට ආසන්න කාලයක් ගත විය. පුද්ගලයන් 129 දෙනෙකු මරා දැමූ 2015 නොවැම්බරයේ පැරිස් බෝම්බ ප්‍රහාරයෙන් පසු එපමණම කාලයක් සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීමට කල් ගත වූයේ, සංචාරකයන්ගේ පැමිණීම දරුණු ලෙස අඩු නොවී තිබියදී ය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.5%කින් මන්දගාමී වෙතැයි අපේක්ෂා කෙරේ. තවද 2001 වසරෙන් පසු ලංකාව කිසි විටෙක මුහුණ නොදුන් තත්වයක් වන ආර්ථිකය ශුන්‍ය තත්වයට පත්වීම ද මේ නිසා සිදුවිය හැකිය. 

අප කිසිවිටෙක යහපත් ආර්ථිකයක් පවත්වාගෙන නැතිද? ඔව්. පසුගිය දශක කිහිපය ඇතුළත හොඳම කාලය පැමිණියේ යුද්ධයෙන් පසුව ය. 2007-8 කාලයේ විශ්වීය වශයෙන් බලපෑ ඊනියා ‘මහා උද්ධමනය‘ තිබියදී ද (බොහෝ ආසියානු රටවල් එයින් වසරක් ප්‍රමාද වී එහි බලපෑමට නතු විය) 2010-12 අතර කාලයේදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා හොඳින් සක්‍රියව පැවතිණි. මේ වසර 3 තුළ දළ දේශීය නිෂ්පාදිතය 8.0% සිට 9.1% දක්වා විචලනය වූ අතර, එය සුළු පටු ජයග්‍රහණයක් නොවන්නේ, නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවති තත්වය සලකා බැලීමේදී ය (2012 වසරේදී සටහන් වූ 9.1%ක දළ දේශීය නිෂ්පාදිතය මේ දක්වා ලංකාවේ හොඳම තත්වයයි).

පශ්චාත් යුධ සමයේ ආර්ථිකය යථා තත්වයට පත් වීම ඉතාම හොඳින් සිදුවූ අතර, 2012 මහබැංකුවේ වාර්ෂික වාර්තාවේදී ඉදිරිපත් වූ එක් ප්‍රශ්නයක් වූයේ ශ්‍රී ලංකා ආර්ථිකය පමණට වඩා රත් වී තිබේද  යන්නයි (ආර්ථිකය පමණ ඉක්මවා රත්වීම සිදුවන බව කියන්නේ හොඳ ආර්ථික වර්ධන වේගයක් දිගු කලක් තිස්සේ පැවතීම සහ නිෂ්පාදකයන් විසින් අතිරික්ත නිෂ්පාදනයන් සිදුකිරීම මත අතිරික්ත නිෂ්පාදන ධාරිතාවක් ඇති වීම හේතුවෙන් උද්ධමනය ඉහළ යාමයි. ආර්ථිකය පමණ ඉක්මවා රත් වීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිභෝගික ධනවත්භාවය ඉහළ යාම හේතුවෙන් මිනිසුන් අතිරික්ත පරිභෝජනය සඳහා යොමු වන විට ප්‍රමාණවත් සැපයුම් කෝටාවක් නොතිබී වේ). නමුත් මේ කතාන්දරය කෙටි කලක් සඳහා පමණක් පවතින්නක් විය.

2013-14 කාලයේදී මෙම වර්ධන වේගය පහළ වැටුණේය. එතැන් පටන්, නායකත්වයේ සිදුවූ අනුක්‍රමික වෙනස්වීම් නොතකා එය තවදුරටත් පහළ මට්ටමක පැවතියේය. මේ වන විට පවතින ආර්ථික දර්ශකයන් ඒ අන්දමින්ම තවදුරටත් පැවතියහොත්, 2030 වසර අවසානයේ වුවද, අප විසින් වාර්තා කරනු ඇත්තේ ඇමරිකානු ඩොලර් 6000 ක දළ දේශීය නිෂ්පාදිතයක් පමණි. වසර 10 ක් ඇතුළත ඇමරිකානු ඩොලර් 10,000 කට ළඟා වීම සඳහා අප විසින් අවම වශයෙන් 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත යුතුය.

ප්‍රබල කේන්ද්‍රීය සැලසුමකට දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කළ හැකිද? 

ධම්මික පෙරේරාගේ ක්‍රමෝපායික සැලැස්ම වසර 15කට අධික කාලයක් මුළුල්ලේ ඔහු විසින් සිදුකළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි. එය අමාත්‍යාංශ 30 ක් ආවරණය කරයි. එම සැලසුමේ ඇතැම් සංචරකක පමණක් ඔහුගේ ද සහාය ඇතිව පැය දෙකක කාලයකදී අධ්‍යයනය කිරීමට මා හට පුද්ගලිකව හැකි විය. යමක හොඳ නරක කියන්නට එය සහමුලින්ම කා බැලීම අවශ්‍ය නොවේ.

මෙම සැලසුම ඉලක්කගත යහපත් එකකි. යෝජනා පුළුල් සහ තනි කණ්ඩායමකින් අපේක්ෂා කළ හැකි උපරිමයට ප්‍රායෝගික ද වේ. එය ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ ද ඔවුන් විසින් ම නම්, නියත වශයෙන්ම එහිදී එම සැලසුම දැඩි සම්නිරීක්ෂණයකට ද හසුවනු ඇති. එනයින්ම එමගින් එම කාර්යයේ සුවිශේෂීභාවයේ අගය ද අවප්‍රමාණ නොවේ.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න......