ජනාධිපතිගෙ නොහැකියාව ව්‍යවස්ථා පොතෙන් වහගන්න බෑ - මුස්ලිම් කොන්ග්‍රසය

ජනාධිපතිගෙ නොහැකියාව ව්‍යවස්ථා පොතෙන් වහගන්න බෑ - මුස්ලිම් කොන්ග්‍රසය

26 June 2019 06:00 pm

රටේ වත්මන් අර්බුදයට හේතුව ජනාධිපතිවරයාගේ නොහැකියාව මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ 19 වැනි සංශෝධනයේ අඩුපාඩුවක් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි. ඒ නිසා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ සියලු අර්බුදවලට හේතුව ලෙස පෙන්වමින් එය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම් මුස්ලිම් කොන්ග්‍රසය ඊට එරෙහි බවයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පවසන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව ආණ්ඩුවක් පිහිටුවීම කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පිහිටෙන් බවත් 18 වැනි සංශෝධනය හරහා වඩාත් ශක්තිමත් කළ විධායකයේ අසීමිත බලතල අහෝසි කරමින් සම්මත කරගත් 19 වැනි සංශෝධනය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත්, 19 වැනි සංශෝධනය ඉවත් කිරීම සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බවත් පවසයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ද 19 අහෝසි කිරීමට විරෝධය පළකර ඇති අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ 19 වැනි සංශෝධනය සම්මත කිරීමට මූලිකත්වය ගත් ජනාධිපතිවරයාම අද 19 රටට ශාපයක් බව ප්‍රකාශ කිරීම පිළි නොගත හැකි කාරණයක් බවයි. දෙමළ ජාතික සන්ධානය 19 වැනි සංශෝධනය ඉවත් කිරීම සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද මන්ත්‍රීවරයා පවසයි.

UN