නීතිපතිගේ විරෝධතා නිසා ලේඛක ශක්තිකගේ ඇප ඉල්ලීම අගෝස්තුවට කල් යයි

නීතිපතිගේ විරෝධතා නිසා ලේඛක ශක්තිකගේ ඇප ඉල්ලීම අගෝස්තුවට කල් යයි

26 June 2019 03:34 pm

කෙටි කතාවක් රචනා කිරීම හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්ර සම්මුති පනත යටතේ ද්වේශසහගතව චෝදනා නගා සිරගතකොට සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාගැනීම සදහා ඔහුගේ බිරිද විසින් කුරුණෑගල මහාධිකරණයේ ගොණු කොට ඇති අංක BA 46/2019 දරණ ඇප අයදුම්පත, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර වාර්තා කැදවීම සදහා කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මැතිණිය ඉදිරිපිට අද දිනයේ කැදවන ලදී.

එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ අථිල අතාවුද, නීතිඥ සී ඩබ්ලිව්.ඩබ්ලිව්. රත්නායක සමග නීතිඥ චමින්ද අතුකෝරල මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටින ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් අද දිනයට පෙර ලැබී තිබූ ආරංචි අනුව නීතිපති දෙපාර්තමේන්තුව මේ ඇප අයදුම්පත්‍රය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් නොකරනු ඇත යනුවෙන් විශ්වාසයක් ඇතිවී තිබුණි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව අවසාන මොහොතේ තම ස්ථාවරය වෙනස් කරමින් රජයේ නීතිඥවරයා විරෝධතා ගොණුකරනු දක්නට ලැබුණි.

ඒ අනුව ඇප අයදුම්පත විමසීමට නියම කළයුතු හෙයින් පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා මෙම සැකකරු දැනට මාස ගණනක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෙයින් විමසීම සදහා හැකිතාක් කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එයට විරුද්ධ වූ රජයේ නීතිඥ තැන ඉල්ලා සිටියේ මෙම නඩුවේ ප්‍රශ්නගත කෙටි කතාවේ සම්පූර්ණ පිටපතක් තමාට පොල්ගහවෙල පොලිස් ස්ථානය හරහා කැදවාගත යුතු හෙයින් එය ගෙන්වා ගැනීමටත් එය අධ්‍යයනය කිරීමටත් ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසය.

එයට පිළිතුරු ලෙස නීතිඥ චමින්ද අතුකෝරල මහතා පෙන්වා දුන්නේ අදාළ ප්‍රශ්නගත සම්පූර්ණ කෙටි කතාව "පෙ 05" වශයෙන් ලකුණු කර මෙම ඇප පෙත්සමේම කොටසක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ නීතිඥ මහතාට කියවා බැලිය හැකි බවත්ය.

ඒ සමගම රජයේ නීතිඥ වරයා තමා සතුව ඇති නඩු පිටපත පෙරළා බලනු දක්නට ලැබුණි. එසේ පෙරළා බලා ඉහත කී "පෙ 05" දරණ ලේඛණය දැක එය හුදු ඡායා පිටපතක් පමණක් බවත් අදාළ සම්පූර්ණ කෙටි කතාව ගෙන්වා ගත යුතු බවත් නැවතත් අධිකරණයට සැළ කර සිටියේය.

මෙහිදී මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීමට අදාළ මුල් පැමිණිල්ලේ සදහන් වන්නේ අන්තර්ජාලයේ මුහුණු පොතේ පළවූ කෙටි කතාවක් සම්බන්ධයෙන් පමණක් බවත්, අන්තර්ජාලයේ ඇති ලේඛනවල ලිඛිත මුල් පිටපත් කියා ජාතියක් නොමැති බවත් රජයේ නීතිඥ මහතා දන්නා බවක් නොපෙනුණි. ඔහු එය නොදැන සිටියාද එසේත් නැතහොත් වෙනයම් හේතුවක් මත නඩුව සදහා දීර්ඝ දිනයක් ලබාගැනීමට යෙදූ උප්පරවැට්ටියක්ද යන්න උභතෝකෝටිකයකි.

අවසානයේ මහාධිකරණ විනිසුරුතුමිය අදාළ ලේඛන ගෙන්වා ගැනීමට කොපමණ කාලයක් අවශ්‍යදැයි විමසා සිටි අවස්ථාවේ ඒ සදහා අවම වශයෙන් සති තුනක් වත් අවශ්‍ය බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

එය සළකා බැලූ විනිසුරුතුමිය අදාළ ඇප අයදුම්පත 2019 අගෝස්තු මස 05 වැනිදා විමසීමට ගැනීමට නියම කළාය.

- ජයන්ත කහටපිටිය-