ඒකාබද්ධය 19ට ඡන්දෙ දුන්නේ මහින්ද කියපු නිසා. දැන් 20ක් ගැන බයිලා කියනවා - නලින් ද සිල්වා

ඒකාබද්ධය 19ට ඡන්දෙ දුන්නේ මහින්ද කියපු නිසා. දැන් 20ක් ගැන බයිලා කියනවා - නලින් ද සිල්වා

26 June 2019 07:12 am

තමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන්නේ 20 වන සංශෝධනයක් ගෙන එන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් පොරොන්දුවක් අනුව බව ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල වැනි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළත් එය අසත්‍යයක් බවත් 19 වන සංශෝධනය ගැන සාකච්ඡා කෙරුණු සමයේදී 20 වන සංශෝධනයක් ගැන කිසිදු කතාවක් නොතිබුණු බවත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 19 වන සංශෝධනයට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඊට එකඟ වී සිටි නිසා පමණක්ම බවයි මහාචාර්යවරයා අවධාරණය කරන්නේ. 

"පනස්අට ලක්‍ෂය මා ප්‍රතික්‍ෂෙප කරාවි. මට ලැබුණු කුට්ටිය කීයද කියලා අහාවි. එහෙත් මා ඉතා හොඳින් දන්න දෙයක් තියෙනවා. දහනවය සාකච්ඡා වෙන කාලෙ විස්සක් ගැන ඒකාබද්ධ විපක්‍ෂය කතා කෙළේ නැහැ. මා එය දැන ගත්තේ කෙසේ ද කියා මා කියන්නේ නැහැ. එකල මා ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීන්ට පෞද්ගලික ව  ලිපියක් යැවුවා අඩු තරමෙන් දහනවයේ යම් යම් කොන්දේසි ඉවත් කරවන්න කියා. එහෙත් ඔවුන් ඒ ලිපිය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඒ වන විට මහින්ද දහනවයට ඡන්දය දෙන්න තීරණය කරල ඉවරයි. පසු දිනෙක පවිත්‍රා වන්නිආරච්චි ඉතා පැහැදිලි ව කියා තිබුණා තමන් දහනවයට ඡන්දය දුන්නෙ සර් (මහින්ද) කී නිසා කියල. විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. 

විස්සෙ කතාව ඊයෙ පෙරේදා ඇදල ගත්ත එකක්. දහනවයට ඡන්දය දීම වරදක් බව පෙන්නුවා ම තමයි විස්සක් ඇදල ගත්තෙ. ඊට ඉස්සර විස්සක් ගැන කියැවුණෙ නැහැ. පසු කාලෙක 2018 මැයි මාසෙ වගේ ජ වි පෙ ආණ්ඩුව වෙනුවෙන් විස්සක් ගෙනාවා. ඒක විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම වගේ අහෝසි කරන්න ගෙනාපු එකක්. ජනාධිපති තෝරන ක්‍රමයත් වෙනස් කරන්න ඒකෙ කියල තිබුණා. 2018 මැයි මාසෙ විස්ස ගැන මා ලියා ඇති මහින්දගෙ මුට්ටි දේශපාලනය ගැනත් කියලා. දහනවය ගෙනාපු දවස්වල විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දගෙ කීමට දහනවයට ඡන්දය දුන්නා. අද ඔවුන් විස්ස ගැන බයිලා කියනවා. " යනුවෙන් ඒ මහතා සඳහන් කරයි. 

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ බව සඳහන් කර ඇත්තේ "කාලය" වෙබ් අඩවියට ලිපියක් සම්පාදනය කරමිනි. 

RN