CCTV හයි කළාට වැඩක් නෑ, ත්‍රස්තවාදීන් පෝෂණය කරන එක නවත්තන්න - මල්වතු මහ නාහිමි

CCTV හයි කළාට වැඩක් නෑ, ත්‍රස්තවාදීන් පෝෂණය කරන එක නවත්තන්න - මල්වතු මහ නාහිමි

24 June 2019 04:02 pm

ආරක්ෂාව පතා කැමරා පද්ධති සවි කිරීම නොව නියමාකාරයෙන් ත්‍රස්තවාදීන් මර්දනය කිරීම කළ යුතුව තිබුණු බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණනන් වහන්සේ පවසති. තොරතුරු ලැබුණු විට ක්‍රියාත්මක නොවුණා සේම ආණ්ඩු දෙකක් යටතේ ත්‍රස්තවාදීන් පෝෂණය වූ බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හමුවේ මහා නායක හිමියන් සඳහන් කළහ.

කන්ද උඩරට උරුමය සුරැකීමේ අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ විස්සක වියදමින් මල්වතු සහ අස්ගිරි මහා නායක හිමියන්ගේ නිල ආරාම සහ මධ්‍යම පළාත් රදගුරු නිල නිවසේ සවි කරන ලද CCTV කැමරා පද්ධති නිල වශයෙන් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී මහා නායක හිමියන් මේ බව සඳහන් කළහ.

ත්‍රස්තවාදය බොහෝදුරට ව්‍යාප්ත වී යන තුරු එය දැන ගැනීමට නොහැකි වූ බව කී මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් අමාත්‍යවරයා හමුවේ තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදීන් පිළිබඳව සොයා බැලීම තවමත් පැහැදිලි නැහැ. මීට වඩා තරමත් උනන්දු වෙනවා නම් වඩා හොඳයි. මිනිසුන් තුළ තවමත් බිය සැක තිබෙනවා. මෙතෙක් දුරට ව්‍යප්ත වෙලා යනතුරු දැන ගන්න බැරිවුණා නේ. ආණ්ඩු දෙකක් තිබුණා. එක් ආණ්ඩුවක් යටතේ මුල් ගල් තැබූ අතර අනෙක් ආණ්ඩුව යටතේ ගොඩනැගුණා. විශ්ව විද්‍යාලයක් පවා ගිය ආණ්ඩු කාලයේ ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා මුදල් ලැබුණු ආකාරය තවමත් හෙළි වී නැහැ. මේ පිළිබදව විනිවිදභාවයෙන් යුතුව විධිමත් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දිය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් සදහන් කළහ.

මල්වතු මහා විහාරයේ ස්ථාපිත CCTV කැමරා පද්ධතියට අදාළ ලිපි ලේඛන නිල වශයෙන් මහා නායක හිමිපාණන් වහන්සේට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එහි දී එම පාර්ශවය මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුහ.

දිවංගත ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය සඳහා දැනෙන සංවර්ධනයක් සහ සේවයක් සිදු කරනු ලැබුවේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යැයි කී අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් තවදුරටත් මෙසේ සඳහන් කළහ. 

විහාරස්ථාන සඳහා විදුලිය සහ දුරකථන පහසුකම් ලබාදීමට ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමන් කටයුතු කළා. ඒ අයුරින්ම විහාරස්ථාන තුන්සියයකට ආසන්න ප්‍රමාණයක ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමට වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කර තිබෙනවා. ඔහු කරන ලද කාර්යභාරය කාටවත් අමතක වන්නේ නැහැ. විහාරස්ථානවලට පිවිසීමට තිබුණු මාර්ග විශාල වශයෙන් අබලන් වී තිබුණා. ඒ මාර්ග සියල්ලම පිළිසකර කරමින් උතුම් සේවාවක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකළා.

බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි පැරණි භූමියේ සිදුකරන සංවර්ධන කටයුතු පෙර සැලසුම් කර අයුරින්ම සිදු කරන්නේ නම් වඩා සුදුසු බවත් එය මෙරට සංස්කෘතියට ගැළපෙන අයුරින් සිදුවිය යුතු බව අස්ගිරි පාර්ශවය මහනායක හිමිපාණන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

මහනායක හිමියන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගෙනහිර පළාතේ ඉදිකරන විශ්වවිද්‍යාලයේ සඳහා සෞදි අරාබියෙන් රුපියල් මිලියන 3000 ක මුදලක් ලැබී ඇති බව තේරීම් කාරක සභාවේ දී හෙළි වූ බව කීවේය. එවැනි මුදලක් රටේ නීතිය අනුව පුද්ගලික ගිණුමකට ලබා ගත නොහැකි බවත්, එම මුදල් මහ බැංකුව ඔස්සේ මෙරටට පැමිණිය යුතු නමුත් එය එසේ සිදුව නොමැති බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව ද අමාත්‍යවරයා කීවේය.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදීන් විසින් කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව සිදුකරන ලද විමර්ශනවලදීද මේ අයුරින්ම සෞදි අරාබියෙන් ත්‍රස්තවාදීන් සඳහා මුදල් ලැබුණු බව අනාවරණය වුණු නමුත්  විශාල වශයෙන් ඇමරිකාව තුළ සෞදි මුදල් ආයෝජනය වී ඇති නිසා එම වාර්තා ඉදිරියට නොපැමිණි බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

අමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

නුවර නදීක දයා බණ්ඩාර