අපේ ජනප්‍රියම අපේක්ෂකයා කරු

අපේ ජනප්‍රියම අපේක්ෂකයා කරු

24 June 2019 03:15 pm

කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ සමීක්ෂණයකට අනුව එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා කරු ජයසූරිය මහතා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් ආසියානු දැල් පන්දු ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 02ක් ලබා දීම සිදුකළ අවස්ථාවේදීය. 

එම සමීක්ෂණය සම්බන්ධයෙන් වාර්තාවක් හෝ දැක නොතිබුණත් එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ බවයි නවීන් දිසානායක මහතා සඳහන් කළේ. 

කෙසේවෙතත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රීවරු තීරණය කරන අපේක්ෂකයාට සම්පූර්ණ සහයෝගය පක්ෂය විසින් ලබා දෙන බවද ඔහු කියාසිටියේය. 

"ජනාධිපති අපේක්ෂකයෙක් තෝරන එකේදී ඇත්ත වශයෙන්ම හැම දේශපාලන පක්ෂයකදීම මතවාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඇමෙරිකාවේ ගත්තොත් ඉතාමත්ව විනිවිදභාවයෙන් සම්පූර්ණයෙන්ම පාක්ෂිකයන්ට ඉඩදෙන්නේ තමන්ගේ සර්ව ජන ඡන්ද බලය පක්ෂය ඇතුළෙම ප්‍රකාශ කරලා ජනාධිපති අපේක්ෂකයා තෝරන්න. ඒ නිසාම තමයි අද ඩිමොක්ක්‍රොටික් පක්ෂයේ අපේක්ෂකයෝ පස් දෙනෙක් තරඟ කරන්නේ පක්ෂය ඇතුළෙන් අපේක්ෂකත්වය ලබාගන්න. මම ඇත්ත වශයෙන්ම සියයට තුන්සියයක් කැමති වෙනවා අපේ පක්ෂයේත් මේ විදිහට ඡන්දයක් තියලා හොඳම ජනප්‍රියම අපේක්ෂකයා තෝරන්න පුළුවන් නම්, මම හිතන්නේ මගේ කාලේ එවැනි ක්‍රමයක් ගේන්න පුළුවන් නම් මම කරන ලොකුම පරිත්‍යාගය ප්‍රජාතන්ත්‍රවාදයට කියලා මම කියනවා." 

 මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවට කියවුනද ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළෙම ප්‍රශ්න පවතින බවයි නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ. ඔවුන්ට එක් මතයකට පැමිණීමට නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවේය. 

ASK