දයාසිරි නිසා ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා බිඳවැටෙයිද?

දයාසිරි නිසා ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා බිඳවැටෙයිද?

20 June 2019 05:30 pm

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් හා රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේ පළ කරන අදහස් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. 

ශ්‍රීලනිපය දිගින් දිගටම මේ ආකාරයෙන් හැසිරෙන්නේ නම් ශ්‍රීලනිප-පොහොට්ටු සන්ධානයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවයි මන්ත්‍රීවරුන් පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ මහතාටත් හිමිවන පරිදි එකඟතාවයකට පැමිණිය යුතු බව ප්‍රකාශ කළ දයාසිරි ජයසේකර මහතා ඉන් පසුව සඳහන් කළේ රාජපක්ෂවරයෙක් ජනාධිපති වුවහොත් ඔහුගේ කැබිනට් මණ්ඩලයේ පුටු 08 ක් රාජපක්ෂලාට වෙන් කිරීමට සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සඳහන් කරන්නේ බමුණු කුලේ එකෙක් ශ්‍රීලනිපයට පැමිණ පක්ෂයත් පක්ෂ නායකත්වයත් විනාශ කරමින් සිටින බවයි.

එදා ‍2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට, මැතිවරණ වේදිකාවලදී 'හිටං... හුටං.....' කියමින් අපහාස කළ දයාසිරි ජයසේකර මහතා පාට මාරු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ දෙකට නැමී සංවිධායක තනතුරු, ඇමති තනතුරු ලබා ගත්තේ කිසිදු ලැජ්ජාවක් නොමැතිවය. එදා ජනාධිපතිවරයා පරාජය කරන වේදිකාවේ සිටි ඔහු අද, එදා තමන් පෙනී සිටි අපේක්ෂකයා පතුරු ගසමින් සිටී. යම් හෙයකින් ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා ජය ගතහොත් කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් ලඟ දෙකට නැමී තනතුරු ලබා ගන්නේ ද මේ දයාසිරිලාමය.

UN