වඳ සැත්කම් ගැන පරීක්ෂණ කොළඹ කාසල් සහ සොයිසා ‍රෝහල්වලදී

වඳ සැත්කම් ගැන පරීක්ෂණ කොළඹ කාසල් සහ සොයිසා ‍රෝහල්වලදී

20 June 2019 03:02 pm

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහමඩ් සාෆි විසින් සීසර් සැත්කම් සිදු කරන ලද කාන්තාවන් වඳ සැත්කම්වලට භාජනය වී තිබේද යන්න ‍සොයා බැලීමේ පරීක්ෂණ කොළඹ කාසල් රෝහලේ සහ සොයිසා රෝහලේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කුරුණෑග මහේස්ත්‍රාත්වරයා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට නියෝග කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් අදාල රෝහල්වලට සපයා දෙන ලෙසයි.

මෙම කාන්තාවන් වඳ සැත්කම්වලට භාජනය කර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. අනෙකුත් සාමාජිකයන් දෙදෙනා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකි.

සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මැයි 27 වැනිදා සිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාල පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබා දෙන්නැයි, කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුණෑගල රෝ‍හලේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කර තිබේ.

මේ අතර වඳ සැත්කම් සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සඳහන් වූ පුවත හේමන්ත රන්දුනු මාධ්‍යවේදියා සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් නිර්මාණය කරන ලද පුවතක් බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී. ඒ සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදියාගෙන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද පසුගිය දිනවල ප්‍රකාශ සටහන් කර ගැනිණි.

UN