අපි තව්හිද් ජමාත්ට සම්බන්ධයි කියා හැකිනම් ඔප්පු කරන්න - හලීම්ගෙන් සාලිට අභියෝගයක්

අපි තව්හිද් ජමාත්ට සම්බන්ධයි කියා හැකිනම් ඔප්පු කරන්න - හලීම්ගෙන් සාලිට අභියෝගයක්

20 June 2019 03:13 pm

තමා හෝ තම පවුලේ සාමාජිකයින් හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධව සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. 

මහනුවර දිස්ත්‍රික්කයේ තමන්ට හිමි සිංහල බෞද්ධ ඡන්ද අහිමි කිරීම සඳහා අසාද් සාලි මහතා අසත්‍ය චෝදනා නඟන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

අසාද් සාලි මහතා හජ් කමිටුවේ සභාපති තනතුර ඉල්ලා සිටි අවස්ථාවේදී එය ලබා නොදීමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී තමන් සමඟ ඇතිවූ ගැටුමකුත් හේතුවෙන් ඔහු මෙසේ අසත්‍ය ප්‍රකාශ සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍ය අබ්දුල් හලීම් මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අසාද් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. 

එම කාරක සභාව හමුවේ පසුගියදා සාක්ෂි දුන් අසාද් සාලි මහතා චෝදනා කළේ සහරාන් හෂීම් කෙනෙකු බිහිවීම පිළිබඳව ඇමති හලීම්ගේ සොහොයුරා වගකිව යුතු බවටයි. 

RN