ගෝඨාභයට හෘද සැත්කමකින් පසු සති 6ක පුනරුත්ථාපන කාලයක්. නඩුව ජුලි 26ට කල් යයි

ගෝඨාභයට හෘද සැත්කමකින් පසු සති 6ක පුනරුත්ථාපන කාලයක්. නඩුව ජුලි 26ට කල් යයි

20 June 2019 06:35 am

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නඩු පැවරී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට ලබාදී තිබුණු අවසරය ජුලි 24 වනදා දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (19) නියම කළේය. 

එම නඩුව ඊයේ දිනයේ සිට විභාගයට ගැනීමට නියමිතව තිබුණු අතර ගෝඨාභය මහතා වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටි නීතීඥ අලි සබ්‍රි මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය මැයි 31 වනදා සිංගප්පූරුවේදී හෘද සැත්කමක් සිදු කර ඇති බවත් ඔහු දැනට රෝහලෙන් පිටව ගොස් ඇතත් ඔහුට සති 6ක් තිස්සේ පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නියම කර ඇති හෙයින් නඩුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවයි. 

ඒ අනුව නඩුව ජුලි 26 වනදා දක්වා කල්තැබිණි. 

සිය දෙමව්පියන්ගේ සොහොන් කොත් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි ගණනක මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශන ආරම්භ වූයේ 2015 වසරේදී වන අතර ඔහු තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයක් ද ලබා ගත්තේය. 

එම අතුරු තහනම් නියෝගයෙන් පසු එකී පෙත්සම විභාගයේදී විනිසුරුවරුන් ගණනාවක් පෞද්ගලික හේතුමත පෙත්සම් විභාගයෙන් ඉල්ලා අස්වනු ද දැකිය හැකි විය. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහිදී ඒ මහතාට අධිචෝදනා භාරදුන්නේ 2018 සැප්තැම්බර් 10 වනදා වන අතර එදින සිට එම නඩුව විභාගයට ගැනීම ප්‍රමාද කිරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ඒ මහතාගේ නීතීඥවරුන් විසින් ගනු ලැබිණි. 

මෙම නඩුවට අදාළව ඔවුන් ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකර තිබුණු පෙත්සම් දෙකක් ද පසුගියදා ප්‍රතික්ෂේප කෙරිණි. 

RN