පාස්කු ප්‍රහාරය වෙනතුරු අවධානම ගැන මා දැනුවත් නැහැ (VIDEO)

පාස්කු ප්‍රහාරය වෙනතුරු අවධානම ගැන මා දැනුවත් නැහැ (VIDEO)

19 June 2019 01:29 am

පාස්කු ප්‍රහාරය වන තුරු ඒ සම්බන්ධයෙන් වන අවධානම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව කාත්තන්කුඩි පොලිසියේ ස්ථනාධිපති  එම්.පී. කස්තුරිආරච්චි මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

මෙම ප්‍රහාරයේ අවධානම සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වැනිදා වන විට විදෙස් ඔත්තු සේවාවකින් තොරතුරු ලබා දී තිබූ පසුබිමක එතන පටන් ප්‍රහාරය වන තුරුම කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස තමන්ව දැනුවත් කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර නොතිබූ බවයි ඔහු අවධාරණය කළේ.

එම ප්‍රහාරය වන තුරුම කාත්තන්කුඩිය ප්‍රදේශයේ යම්  සාමකාමී බවක් පැවති අතර ත්‍රස්ත ක්‍රියා වාර්තා නොවුණු අතර ආගමික මත ගැටුම් සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ බව කස්තුරිආරච්චි මහතා කියා සිටියේය. 

අන්තවාදී දේශනා සම්බන්ධයෙන් වරින් වර සාකච්ජා කළ නමුත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොලැබුණ බවද ඔහු සඳහන් කළේය.

2017 මාර්තු 10 සිදු වූ ගැටුමෙන් පසු සහරාන් හෂීම්,ඔහුගේ සොහොයුරා වූ රිල්වාන් සහ ආමි මොහිදීන්  ප්‍රදේශයෙන් පලා  ගොස් පැවති අතර නැවත ඔවුන් කාත්තන්කුඩියට පැමිණි බවටද තොරතුරු වාර්තා නොවුණු බවයි ස්ථානාධිපතිවරයා පැවසුවේ. 

කෙසේවෙතත් වරින් වර ඉතා රහසිගතව ඔවුන් සිය බිරින්දෑවරු මුණ ගැසීමට කාත්තන්කුඩියට පැමිණ ඇති බවට බුද්ධි වාර්තා ඇති බවට කාරක සභාව කළ ප්‍රශ්න  කිරීමේදී කස්තුරිආරච්චි මහතා සඳහන් කළේ ඔවුන් පැමිණි බවට ප්‍රදේශවාසීන් දැන සිටියේ නම් අනිවාර්යයෙන් ඔවුන් ඒ බව පොලීසියට දැනුවත් කරන බවයි. 

මේ අතර කාත්තන්කුඩිය ප්‍රදේශයේ විවාදයට ලක්ව තිබූ හෙල්මට් නීතිය නොසලකා හැරීම සම්බන්ධයෙන්ද කාරක සභාව ප්‍රශ්න කළේය. 

ඊට පිළිතුරු දෙමින් ස්ථානාධිපතිවරයා පැවසුවේ තමන් කාත්තන්කුඩියට හෙල්මට් නීතිය ඉගැන්වූ  බවයි. 

ASK