සහරාන්ගේ ත්‍රස්තවාදයත් සුනාමිය වගේ (VIDEO)

සහරාන්ගේ ත්‍රස්තවාදයත් සුනාමිය වගේ (VIDEO)

18 June 2019 11:32 pm

සිය සේවා කාලය තුළ සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියා පිළිබඳ පැමිණිලි වාර්තා නොවූ අතර මුස්ලිම් නිකායන්  අතර පැවති මතවාදී ගැටුම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු බව කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කල විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි. 

කාත්තන්කුඩිය පොලිසියේ 2014-2017 තමන් සේවය කළ කාලය අතරතුර සහරාන් හෂිම්ගේ කණ්ඩායම ආයුධ භාවිතා කර තිබුණේද එක අවස්ථාවක බව වෙදගෙදර මහතා පැවසූ අතර ඒ 2017 වසරේ මාර්තු 10 වැනිදා සූෆි මුස්ලිම්වරු කණ්ඩායමක් සහ සහරාන්ගේ කණ්ඩායමක් අතර කාත්තන්කුඩිය ප්‍රදේශයේ අතර ඇති වූ ගැටුමේදී බවයි. 

සහරාන් හෂිම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසියට පැමිණිලි කළද එම පැමිණිලි සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ද කාරක සභාව වෙදගෙදර මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. 

සිද්ධීන් වාර්තා වීමේදී සහ පැමිණිලි ලැබීමේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයද දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සුනාමියක් මෙන් සිදුවීමක් බව ඔහු පැවසීය.

සිදුවීම් දාමය සම්බන්ධයෙන් ඔවුන්ද සිතන්නට පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බව කාත්තන්කුඩිය පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා පැවසීය.

එමෙන්ම 2017 මාර්තු 10 සිදු වූ ගැටුමට සහරාන්  සම්බන්ධව සිටි බවත් තමන් ඇතුළු පොලිස් කණ්ඩායම ගැටුම සිදු වූ ස්ථානයට යන විට එහි සහරාන් සිටි බවත් වෙදගෙදර මහතා පැවසුවේය.

එහෙත් එහිදී සහරාන් හෂීම්, ඔහුගේ සහෝදරයා වන රිල්වාන් සහ ආමි මොහිදීන් යන තිදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ අතර පසුව ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි බවයි ඔහු සඳහන කළේ.

එම ගැටුම අවස්ථාවේ පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීමට හේතුවක් වූ බවද වෙදගෙදර මහතා පැහැදිලි කළේය.

කෙසේවෙතත් සහරාන් හෂීම් නිසා විවිධ කරදරකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වූ බවයි හෙතෙම කියා සිටියේ. 

එමෙන්ම විශේෂයෙන් 2015 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සමයේ සහරාන්ගේ දේශපාලන හැසිරීම් සම්බන්ධයෙන් කාරක සභාව වෙදගෙදර මහතාගෙන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ සහරාන්ගේ දේශපාලන සබඳතා පිළිබඳව නොදන්නා බවයි. 

ASK