අද කුරුණෑගල කිත්සිරි හෙට දකුණේ රවී රහස් පොලීසියට

අද කුරුණෑගල කිත්සිරි හෙට දකුණේ රවී රහස් පොලීසියට

18 June 2019 09:05 pm

කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙකු වඳ සැත්කම් 4000 ක් සිදුකර ඇති බවට කිසිදු පදනමක් නොමැතිව දිවයින පුවත්පතට තොරතුරු ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. ඒ ඔහුට එල්ල වී ඇති අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

දිවයින පුවත්පතේ පළවූ මෙකී පුවත සම්බන්ධයෙන් එම පුවත නිර්මාණය කළ හේමන්ත රන්දුනු මාධ්‍යවේදියාගෙන් මීට පෙර රහස් පොලීසිය ප්‍රශ්න කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙම තොරතුරු තමන් වෙත ලබා දුන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා බවයි.

ඒ අනුව රහස් පොලීසිය මේ වනවිට පැය 08 ක් තිස්සේ කිත්සිරි ජයලත් මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටී.

මේ අතර මෙම වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදුකරන පරීක්ෂණ දිගින් දිගටම ඇදී යමින් තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා. වඳ සැත්කම් චෝදනාව ඔප්පු කිරීම සඳහා මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැති අතර ඒ සඳහා ඇත්තේ හේමන්ත රන්දුනුගේ අතේ පැළවෙන දිවයින පුවත පමණි.

අඟහරු ලෝකයේ ගඩොල් තිබෙන බවට අතේ පැලවෙන බොරු කියන දිවයිනේ බොරු විශ්වාස කිරීමට විමල් වීරවංශලා සූදානම් වුවද ජනතාව ඒ සඳහා සූදානම් නොමැත. වීරවංශලා‍ගේ වුවමනාව වන්නේ මේ හරහා ජාතිවාදය ඇවිස්සීමයි. ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමයි.

මේ වනවිට වඳ සැත්කම් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කළ පුද්ගලයන් සියලු දෙනා ප්‍රකාශ කර තිබෙන්නේ එවැන්නක් සිදු නොවූ බවයි. වෛද්‍ය සාෆි සමග අදාල සැත්කම්වලට සහභාගි වූ හෙද නිළධාරිනියන් රහස් පොලීසිය වෙත පවසා ඇත්තේ තමන්ට හොරෙන් එවැනි වඳ සැත්කම් කිරීමේ හැකියාවක් නොමැති බවයි. ඒසේ සිදු කළා නම් සහායක වෛද්‍යවරුන් සහ හෙද නිළධාරීන් දැනුවත් වියයුතු බවත් එහෙත් එවැන්නක් සිදු නොවූ බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

වීරවංශලා කුමන ‍චෝදනා සිදු කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කඩිනමින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර ඉතා නුදුරේදීම වඳ සැත්කම් චෝදනාව හේමන්ත රන්දුනුගේ සහ කිත්සිරි ජයලත්ගේ අතේ රෝලක් බව අනාවරණය වනු ඇත.

මේ අතර රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා හෙට (18) රහස් පොලීසිය වෙත පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.

රවී විජේගුණවර්ධන මහතා එවකට දකුණු පළාත භාර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇත්තේ රවී විජේගුණවර්ධන මහතා යටතේ තිබූ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ‍නිළධාරීන් කණ්ඩායමක් විසිනි. මෙම සිදුවීම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ශක්තිකට කැපූ වලේ තමන්ම වැටීම - කුරුණෑගල DIG, ICCPR පනත යටතේ අත්අඩංගුවට ?
රත්ගම ඝාතනය : ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට CIDයෙන් කැඳවීමක්