ශක්තිකට කැපූ වලේ තමන්ම වැටීම - කුරුණෑගල DIG, ICCPR පනත යටතේ අත්අඩංගුවට ?

ශක්තිකට කැපූ වලේ තමන්ම වැටීම - කුරුණෑගල DIG, ICCPR පනත යටතේ අත්අඩංගුවට ?

18 June 2019 04:16 pm

කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කළ බවට දිවයින පුවත්පත විසින් හෙලිදරව් කළ වෛද්‍ය සාෆිට එරෙහිව කාන්තාවන් 800 කට අධික පිරිසක් විසින් පැමිණිලි සිදුකර තිබිණි. ඒ සාෆි වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව තමන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවූ බව පවසමිනි.

ඒ අනුව එවැනි වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළයට හානි කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට නියමිත තිබේ. ‍කෙසේ වෙතත් පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි.

ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් වෙනත් ගැටලුවක්ද යන්න සොයා ගැනීම සඳහා ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලු ඇත්දැයි පරීක්ෂා කළයුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බහුතරයක් ද පරීක්ෂණ සඳහා පෙනී සිටීම මගහැර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම එම කාන්තාවන් 71 දෙනා අතරින් ඇතැමුන්ගේ සිසේරියන් සැත්කම් සඳහා සාෆි වෛද්‍යවරයා සම්බන්ධව සිටියේද යන්න තහවුරු කර ගැනීමට තරම් සාක්ෂි නොමැති බව ද අනාවරණය වී තිබේ.

එම වෛද්‍යවරයා සමග අදාල සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන් හෝ හෙද නිළධාරීන් ඇතුළු සහායක කාර්ය මණ්ඩලයේ හෝ කිසිවෙකුත් සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදුකළ බවට සාක්ෂි ලබා දී නොමැත. හෙද නිළධාරිණියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර මෙම පුවත දිවයින මාධ්‍යවේදියාට ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පොලීසියේ අභ්‍යන්තර පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරී‍මේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ ඔහුව අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව නඩුව ක්‍රියාත්මක වන්නේද ICCPR සම්මුතිය යටතේය. විශේෂත්වය වන්නේ ශක්තික අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ ද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ම වීමයි.

සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකිව තිබියදී මෙම විශේෂ පනත යටතේ චෝදනා ගොනු කිරීම වැරදි බව අධිකරණයේදී ද පිළිගැනීමට ලක්ව ඇතත් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති නිසා ශක්තික සත්කුමාරට දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට සිදුව තිබේ. 

කෙටිකතාවක් නිසා ලේඛක ශක්තිකව හිරේ යැව්වේත් කුරුණෑගල DIG
සාෆි සමඟ චන්න ජයසුමනට පෞද්ගලික ගැටුමකුත් තිබිලා !
CIDයට ජාතිය ගැන කිසිම හැඟීමක් නෑ සර් - කුරුණෑගල පැලෝපීය DIGගෙනුත් පාපොච්ඡාරණයක්
රතන හිමි වෛද්‍ය සාෆිගෙන් පාපොච්ඡාරණයක් ගැනීමේ වෑයමක !