ගෝඨා නඩුවටත් නොඑන හැඩ

ගෝඨා නඩුවටත් නොඑන හැඩ

18 June 2019 03:01 am

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විශේෂ මහාධිකරණය හමුවේ හෙට (19) දිනයේ සිට විභාගයට ගැනීමට නියමිතව ඇතත් ඊට සහභාගී වීම සඳහා ඒ මහතා දිවයිනට නොපැමිණෙනු ඇති බව වාර්තා වේ. 

මැයි මස 24 වනදා සිට ජුනි 02 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අධිකරණයේ අවසර ලබාගෙන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ගිය ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් දිවයිනට පැමිණීමට නොහැකි බව පසුගිය ජුනි 03 වනදා මෝසමක් මඟින් නඩුව කැඳවමින් ඔහුගේ නීතීඥ අලි සබ්‍රි මහතා අධිකරණයට දැනුම් දුන්නේය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණියත් මීට පෙර තීරණය කරගෙන ඇති ආකාරයෙන් නඩුව ජුනි 19 වනදා සිට විභාගයට ගැනීමටයි එදින අධිකරණය තීන්දු කළේ. 

මේ අතර මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සාර්ථක ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සිටින බවත් තවත් ටික කාලයක් ඔහු සිංගප්පූරුවට වී විවේක සුවයෙන් කාලය ගත කරනු ඇති බවත්ය. 

කෙසේවෙතත් මෙම නඩු විභාගය හැකිතාක් ප්‍රමාද කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නොයෙකුත් ආකාරයෙන් මූලික විරෝධතා ගොනුකරමින්, එම මූලික විරෝධතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකරමින් කටයුතු කරනු දක්නට ලැබුණු අතර ඔවුන් සිතාමතා නඩුව ප්‍රමාද කිරීමට කටයුතු කරන බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදීම ප්‍රකාශ කර ද තිබිණි. 

මෙම නඩුවේ නීතිමය තත්වය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය බැරෑරුම් තත්වයක පසුවන බවයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ නීතිවේදියකු අප වෙත ප්‍රකාශ කළේ. 

RN