සමහරු බලාගෙන හිටියේ රට අඳුරේ තියන්න

සමහරු බලාගෙන හිටියේ රට අඳුරේ තියන්න

17 June 2019 11:14 pm

පසුගිය දිනවල යම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් බලා සිටියේ  වෙසක්, පොසොන්වලට රට අඳුරේ තබා සතුටු වීමට බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එහෙත් එම අපේක්ෂාවන් බිඳ දමා රට ආලෝකමත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩ නොදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විදුලි පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන්, CEB Care මෘදුකාංගය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. 

"වත්කම් අතින් බැලුවත් ලංකාවේ වෙන කිසිම ආයතනයක් ලංවිම සමග සම කරන්න බැහැ. හැම ගෙදරකටම සෑම මොහොතකටම නැතිවම බැරි ආයතනයක් තමයි විදුලිබල මණ්ඩලය. ජනතාවට විදුලිය අත්‍යාවශ්‍ය දෙයක් වුවත්, ලංවිම සමහර අවස්ථාවල පාරිභෝගිකයා අවශ්‍ය නැති ආකාරයට ක්‍රියා කරනවා. මේ තත්ත්වය තමයි වෙනස් කළ යුත්තේ. මම මෙම අමාත්‍යාංශය භාර අරන් කටයුතු කළ කෙටි කාලය තුළ වටහාගත් එකම දේ තමයි පාරිභෝගිකයාට මුල් තැනදී කටයුතු කිරීමට ලංවිම පරිවර්තනය  කළ යුතුයි කියන එක."

මේ වනවිට විදුලි ඒකක බිලියන 19 ක් පමණ නිෂ්පාදනය කරන අතර ජනන වියදම ඒකකයට රු24.00 වන විට ඒකකයක් අලෙවි කරන්නේ රු. 16.00 කට පමණ වන හෙයින් ලංකා විදුලි බල මණ්ඩලය අලාභයට ගමන් කරන බව අමාත්‍යවරයා පැවසුවේය. 

ලංවිම තුළ කාර්මික ඥානය අතිවිශිෂ්ට වුවත් මූල්‍ය පාලනය තවමත් එදා විලසම බවයි රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ. එම තත්ත්වය වෙනස්කිරීමට අදටත් හැකි වී නැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඉදිරි මාස 03 ක් 04 ක් යෑමට පෙර රටින් පිට කොන්ත්‍රාත් වැඩ ආරම්භ කළ යුතු බවද අමාත්‍යවරයා කියාසිටියේය. 

"එහෙමයි අපි වෙනසක් ඇතිකළ  යුත්තේ. පුද්ගලික අංශයෙන් ලෝකය තරණය කරන්න පුළුවන්නම්, ඇයි ලංවීමෙන් එය කරන්න බැරි. වියදම කොපමණ වුවත් අපි ඒක ලබලා දෙනවා. මේ සදහා අපගේ ජනනය කිරීමේ වියදම අවම කළ  යුතුයි. සැමදෙනාටම සාධාරණ ජනන මිලක් ඇති කළ  යුතුයි. මෙම වෙනස ඇති නොකළොත් වසර 4කින් 5කින් විදුලිබල මණ්ඩලය කඩාවැටෙයි."

එහෙයින් මෙම තත්ත්වය වෙනස් කිරීමට සියලු දෙනා එකතු වී වැඩකළ යුතු බවයි රවී කරුණානායක මහතා පැවසුවේ. 

ASK