රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ

17 June 2019 03:06 pm

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු වන දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න විසින් සැලසුම්කර නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ කක්ෂගත කිරීම අද (17) සිදුකිරීමට නියමිතය. මෙරට වේලාවෙන් 03.45ට එම කක්ෂගත කිරීම සිදුවන අතර සියලුම දෙනාට එය සජීවීව නැරඹීමේ අවස්ථාවද ලබා දී තිබේ. 

ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනය (Kyushu Institute of Technology) සහ  ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය එම අවස්ථාව හිමිකර දී ඇත. 

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ එම ස්ථානයට ගොස් පුළුල් තිර ඔස්සේ එය නැරඹීමට හැකියාව පවතියි. 

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්ජිනේරු සනත් පනාවැන්න මහතාගේ යෝජනාවක අනුව එම චන්ද්‍රිකාවට රවණා 1 ලෙස නම්කර ඇති අතර මෙම මධ්‍යස්ථානයේ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ලෙස චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත. 

රාවණා 1 චන්ද්‍රිකාව සහිත රොකට්ටුව පසුගිය පෙබරවාරි 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබීය. 

ශ්‍රී ලංකාව සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' නැමති දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය මෘදුකාංගය අත්හදා බැලීම,චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම,කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම යන කාර්යයන් මෙම චන්ද්‍රිකාව මඟින් අධ්‍යයනය කිරීමට නියමිතය. 

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මිත මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ තාක්ෂණයේ සුවිශේෂී සටහනක් තබනු ඇති අතර ඔවුන් අපේක්ෂා කරන පරිදි අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ නව දැනුම් සම්භාරයක් රැස් කරගැනීමට රාවණා 1 චන්ද්‍රිකාවට හැකියාව ලැබෙනු ඇත. 

BIRDS-3 deployment of Raavana-1 Live Broadcast මඟින්ද මෙම අවස්ථාව සජීවීව දැකබලා ගැනීමට හැකියාව තිබේ. 

(මුලාශ්‍රය - BBC)