ජනපතිගේ උත්සවයට ආවේ නැතැයි සමෘද්ධි දීමනාව නතර කරයි!

ජනපතිගේ උත්සවයට ආවේ නැතැයි සමෘද්ධි දීමනාව නතර කරයි!

13 June 2019 02:00 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ උත්සවයකට නොපැමිණි සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධි දීමනාව පොළොන්නරුව නව නගරයේ සමෘද්ධි බැංකු සංගමය විසින්  ප්‍රමාද කර ලබාදී ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ.  

අදාළ සමෘද්ධිලාභීන් වෙත දීමනාව ලබාදී තිබෙන්නේ මාසයක ප්‍රමාදයකින් පසුව ය. 

පසුගිය මාර්තු 10 වැනිදා ජනාධිපතිවරයා පැමිණ, ‘පුබුදමු පොළොන්නරුව‘ දිස්ත්‍රික් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රුපියල් බිලියන 1.9 ක වියදමෙන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළේය. 

මෙම උත්සවයට සහභාගිවීමට නොහැකි වූ සමෘද්ධිලාභීන් සිය දීමනාව ලබාගැනීම සඳහා සමෘද්ධි බැංකුව වෙත සුපුරුදු පරිදි ගිය අවස්ථාවේදී අදාළ සමෘද්ධි නියාමකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ජනපතිගේ උත්සවයට පැමිණි අයගේ අත්සන් ලේඛනයේ නම් නොමැති අයගේ සමෘද්ධි දීමනාව මාස 3 කට අත්හිටුවන බව ය. එසේ අත්හිටුවා නැති නමුත් දඬුවමක් වශයෙන් මාසයක කාලයක් ප්‍රමාද කිරීමෙන් පසුව ලබාදී ඇත.  

සමෘද්ධිලාභීන් තෝරාගැනීමේ පටන් සමෘද්ධි අරමුදල් අවභාවිත කිරීම දක්වා විශාල චෝදනා ගණනාවක් මේ වන විට සමෘද්ධි වැඩසටහන සඳහා එල්ල වී තිබේ. මේ අතර 2019 අයවැයෙන් ද සමෘද්ධි වැඩසටහන සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර තිබේ.

පොළොන්නරුව ප්‍රදේශවාසීන් ලංකා නිව්ස් වෙබ් සමග පවසා සිටියේ පොළොන්නරුවට ජනාධිපතිවරයා මෙවැනි උත්සව සඳහා පැමිණෙන හැම විටම සමෘද්ධිලාභීන් ප්‍රාණඇපකරුවන් වශයෙන් යොදාගෙන ඔවුන්ව එම උත්සවවලට අනිවාර්යයෙන් සහභාගි කරවීමේ සම්ප්‍රදායක් පවතින බවයි. ජනාධිපතිවරයා අවම වශයෙන් පස් වතාවක් පමණ පොළොන්නරුවේ විවිධ උත්සව සහ විවෘත කිරීම් සඳහා පැමිණෙන බවද ප්‍ර දේශවාසීහු පවසති.  

මීට පෙර ද අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා පැමිණෙන උත්සව සඳහා සමෘද්ධි ලාභීන්ට පැමිණීම අනිවාර්ය කර තිබිණි. 

සමෘද්ධිලාභීන්ට මසකට වරක් සාමාන්‍යයෙන් ලබාදෙන්නේ රු. 1500, 2500, 3000 ක් අතර මුදලකි. 

- අමාලි ජයවීර