ලංකාවේ මහ ඉස්පිරිතාලය ඇත්තේ සිංගප්පූරුවේය !

ලංකාවේ මහ ඉස්පිරිතාලය ඇත්තේ සිංගප්පූරුවේය !

12 June 2019 02:32 pm

කොළඹ ජාතික රෝහල පොදුවේ ජනතාව අතර හැඳින්වෙන්නේ මහ ඉස්පිරිතාලේ නමිනි. එහෙත් ලංකාවේ මහ ඉස්පිරිතාලය යනු කොළඹ ජාතික රෝහල නොවේ. 

මන්දයත් ලංකාවේ "මහතැන්වල" සිටිනා "මහ උන්" කිසිවෙකුත් ඔය මහ ඉස්පිරිතාලයෙන් බෙහෙත් ගන්නට නොයන බැවිනි. ඔවුන් යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය. 

තමන් යටතේ පවතින එකදු රෝහලක් ගැනවත් විශ්වාසයක් නැති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද බෙහෙත් ගන්නට යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය.  ඇමති මට්ටමේ සහ ඉන් ඉහළ සිටින දෙපැත්තේම අනෙක් දේශපාලනඥයින්ගේ කියාත් වෙනසක් නැත. 

අද වනවිට ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වනු ඇතැයි වැඩියෙන්ම විශ්වාස කෙරෙන අපේක්ෂකයින් දෙදෙනා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාම සිටින්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේය. ඒ අනුව 2020දී කවුරු දිනුවත් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ බෙහෙත් ගන්න සිංගප්පූරු යන ජනාධිපති කෙනෙක්ය. 

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද අධිකරණයේ අවසරයත් ලබාගෙන සූදානමින් සිටින්නේ සිංගප්පූරු රෝහලෙන් බෙහෙත් ගන්නය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේම උපදේශකයකුව ඝාතනය කළ ඔහුගේම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වූ දුමින්ද සිල්වා මහතාව රාජපක්ෂ මහතාගේම සහෝදරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් යැවුණේ ද සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය. 

මහ උන්නාසේලා කියා වෙනසකුත් නැත. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙස හැඳින්වෙන ගලබොඩ ඥානීස්සර හිමියන් දැන් කලක සිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේය. වෙනෙකක් තියා සාධාරණ සමාජයක් පැතූ මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වුණේ ද ඒ රෝහලේමය. 

ඉතින් ශ්‍රී ලංකාවේ මහ රෝහල ඇත්තේ ලිප්ටන් වටරවුම අසල, ඇස්වාට්ටුවට පිටුපසින් බව ඔබ සිතා සිටියා නම් ඔබට සිදුව ඇත්තේ වැරදීමක් ය. එතැන ඇත්තේ මහ ඉස්පිරිතාලය නොව ඔබ අප වැනි පොඩි මිනිසුන් යන පොඩි ඉස්පිරිතාලය ය. ශ්‍රී ලංකාවේ මහ ඉස්පිරිතාලය ඇත්තේ සිංගප්පූරුවේය ! 

RN