තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත් වෙන්න කැබිනෙට්ටුවට අයිතියක් නෑ - අගමැති

තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත් වෙන්න කැබිනෙට්ටුවට අයිතියක් නෑ - අගමැති

12 June 2019 01:00 pm
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ‍පාර්ලිමේන්තු තේරීම කාරක සභාව අහෝසි කිරීමට හෝ එහි කටයුතුවලට මැදිහත්වීමට හෝ කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි. කැබිනට් මණ්ඩලය පත්කර තිබෙන්නේ ද පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව බැවින් පාර්ලිමේන්තුව විසින්ම පත්කළ තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනෙට්ටුවට අයිතියක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.
 
එසේම කැබිනට් මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වූ පමණින් එය අහෝසි නොවන බවද අගමැතිවරයා පෙන්වා‍ දෙයි.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11) සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති නායකයන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
 
තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුත් නොකරන බවද අගමැතිවරයා මෙහිදී පැවසීය.
 
ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතුයි :
 
"අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවිම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරිමට උපදෙස් දි ඇති බවත් මෙහිදී අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
 
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්, ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය.
 
"අප කටයුතු කළ යුත්තේ, ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි. ඒ නිසා නැහෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා." යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
 
UN