සියලු අන්තවාදයන්ට, අවස්ථාවාදයට එරෙහිව අවෛරයේ හෝරාව මාතරින් ඇරඹෙයි

සියලු අන්තවාදයන්ට, අවස්ථාවාදයට එරෙහිව අවෛරයේ හෝරාව මාතරින් ඇරඹෙයි

11 June 2019 05:00 pm

සියලු අන්තවාදීන්ට, ජාතිවාදීන්ට සහ අවස්ථාවාදීන්ට එරෙහිව මාතර ජනතාව සංවිධානය කළ “අවෛරයේ හෝරාව” වැඩසටහන මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඊයේ (10) පැවැත්විණි. මේ සඳහා මාතර ප්‍රදේශයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ආගම් භේද පසෙකලා සහභාගී වී සිටීම විශේෂත්වයකි.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් ඊට පසු රට තුළ මතුවෙමින් පවතින සිංහල සහ මුස්ලිම් අන්තවාදයටත්, ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ දරන අවස්ථාවාදීන්ට එරෙහිව සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එම ජනතාව උද්ඝෝෂණයකද නිරත වූහ. 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ඔවුන් දිරිමත් කරමින් පිරිස අතරට එක් විය. රැස්ව සිටි පිරිස අමතමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සිංහල, මුස්ලිම් ඇතුළු සියලු ජාතිවාදීන්ට එරෙහි “අවෛරයේ හෝරාව” මාතරට පමණක් සීමා නොවී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ක්‍රියාත්මක වියයුතු බවයි. මෙම වැඩසටහන දිවයින පුරා සාර්ථක වනු දැකීම සිය අපේක්ෂාව බව ද හෙතෙම පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,

“මාතර කියන්නෙ අතීතයේ පටන්ම ආසාධාරණයට එරෙහිව නැගී සිටි මිනිසුන් හිටපු ප්‍රදේශයක්. ජාතිවාදීන්ට, ආගම්වාදීන් එරෙහිව මාතර ජනතාව ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිවි හිමියෙන් එදා ඉඳල පෙනී හිටියා. අදත් රට තුළ වෛරය යළි වතාවක් වපුරවන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ඇතැම් පිරිස් උත්සහ දරද්දි මාතර ජනතාව පෙරට ඇවිල්ල ඔවුන්ගේ ම අදහස් අනුව අවෛරයේ හෝරාව වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගත්තා. මම මාතර ජනතාවට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

මාතර ජනතාවගෙන් 95% ක් සිංහල බෞද්ධයන්. ඔවුන් බුදුන්ගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රිය පතුරවමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරල තියෙනවා. අනාගත දූදරුවන්ට හිමි විය යුතු ආර්ථික සංවර්ධනය ලබා දෙන්න නං මේ වැඩසටහන මාතරට විතරක් සීමා නොකර රට පුරාම ක්‍රියාත්මක කරන්න ඕනෙ. දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුවට එනකං සෑම ජාතිකකම, ආගමකම ජනතාව නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අද එක පැත්තකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරු තුඩුව වෙනකං මුළු රටම ගම්පෙරළිය යටතේ සංවර්ධනය වෙමින් තියෙනවා. සංවර්ධනය ජාතියකට ආගමකට සීමා වෙලා නෑ. ඒ නිසා තමයි පන්සල්, කෝවිල්, පල්ලි සංවර්ධනයට ගම්පෙරළියෙන් මුදල් වෙන් කරල තියෙන්නෙ.

අනිත් පැත්තෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ නව ව්‍යසායකත්ව අපේක්ෂාවන් ඇති පිරිසට ඉදිරියට එන්න ශක්තිය දෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් අසරණ වෙලා ඉන්න සංචාරක ප්‍රදේශවල ජනතාවට අපි සහන මල්ලක් ලබා දීල තියෙනවා. මිරිස්ස, වැලිගම, මාතර ප්‍රදේශවල සංචාරක පොඩ්ඩන්ට අපි විශේෂ සහන දීල තියෙන්නෙ මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේයි.

මේ මාතර නගරයට රැස් වෙලා සිංහල මුස්ලිම් ඇතුළු සියලු අන්තවාදයන්ට එරෙහිව ඔබ මේ ලබා දුන් ආදර්ශය ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල ජනතාවට ලබාගත යුතුයි.