ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් කඩාවැද දෙමළ දේශපාලන සිරකරුවන් දණගස්ව​යි ?

ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් කඩාවැද දෙමළ දේශපාලන සිරකරුවන් දණගස්ව​යි ?

15 September 2021 10:38 am

බීමත්ව සිය මිතුරන් කණ්ඩායමක් සමඟ බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ බව කියන බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා​ට ඉරිදා (12) සවස අනුරාධපුර බන්ධනාගාරයට ද ඇතුළු වූ බවට ද චෝදනා එල්ල වේ.

ඔහු මෙසේ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇත්තේ හෙලිකොප්ටරයක් මඟින් බව වාර්තා වේ.

ආරංචි මාර්ග පවසන්නේ ඔහු විසින් සිරභාරයේ LTTE සංවිධානයේ සැකකරුවන් වෙත තුවක්කු එල්ල කර ඔවුන්ව දණ ගස්වා ඔවුන්ට අපහාස හා තර්ජන එල්ල කර ඇති බවයි. 

මෙම සිදුවීම පිළිබදව දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජෙ​න් පොන්නම්බලම් මහතා සිය නිල ට්වීටර් ගිණුමේ පළ කර ඇත. “සැප්තැම්බර් 12 වැනිදා සවස බන්ධනාගාර බාර රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර සිරගෙදරට ගොස්, දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඉන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණගැස්වූ බව TNPFට තහවුරු කළ හැකියැ,” යි ඔහු සදහන් කර ඇත. 

TNPF පක්ෂය නියෝජනය කරමින් පොන්නම්බලම් පවසා සිටින්නේ රත්වත්තේ වහාම ඉල්ලා අස්විය යුතු බවයි. ඔහු තවදුරටත් පවසා සිටින්නේ රජය විසින් ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව වහාම නඩු පැවරිය යුතු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයකු විසින් මීට පෙර සිය මිතුරන් සමග ඔවුන්ට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගස පෙන්වීම සදහා යැයි කියමින් වැලිකඩ බන්ධනාගාරයටද කඩාවැදි බවට චෝදනා එල්ල වී තිබුණි. නමුත් ජන මාධ්‍ය විසින් අදාල අමාත්‍යවරයාගේ නම හෙළි කර නොතිබුණි.  මේ පුවත පිළිබදව වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ද තහවුරු කර තිබූ නමුත් ඒ පිළිබඳව කිසිවක් තමන් දන්නේ නැති බව බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක කොමසාරිස්වරයා පවසා තිබුණි.