මාර්ගය හැදුවේ රජයේ මුදලින්. පුවරුවට රජයේ මුදල් ගියේ නෑ - ඇමති චන්නගේ පැහැදිලි කිරීම

මාර්ගය හැදුවේ රජයේ මුදලින්. පුවරුවට රජයේ මුදල් ගියේ නෑ - ඇමති චන්නගේ පැහැදිලි කිරීම

16 July 2021 10:22 am

තඹුත්තේගම ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ දැවැන්ත රූපයක් යෙදූ පුවරුවක් ස්ථාපනය කිරීම පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල මහත් ආන්දෝලනයට ලක්ව තිබිණි. 

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළකර ඇති කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වේ. 

***************************************************

තඹුත්තේගම බෝඩ්එක 

තඹුත්තේගම ප්‍රදේශයේ අලුතින් කාපට් යොදා සකස් කළ මාර්ගයක් සම්බන්ධයෙන් වන පුවරුවක් ඇතැමුන්ට ප්‍රශ්නයක් වී ඇති නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් මෙහි දැක්වේ. 
මීට සති දෙකකට පමණ පෙර තඹුත්තේගම මූලික රෝහලට රු ලක්ෂ 50 පමණ වටිනා වෛද්‍ය සහ අනෙකුත් උපකරණ ප්‍රදානයක් ලෙස ලබා දීමට මම එහි ගියෙමි. එහිදී රෝහල් අධ්‍යක්ෂකවරයා, වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, සෙසු සේවකයන් සහ ප්‍රදේශවාසීන් සමග පැවති සුහද හමුවකදී ඔවුන් ඉල්ලා සිටියේ, කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සිට රෝහලට ප්‍රවේශවන මාර්ගය (මීටර් 300 පමණ) පිළිසකර කර දෙන ලෙස දීර්ඝ කලක් බොහෝ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එය ඉටු නොවූ හෙයින් ඒ සදහා මැදිහත්වන ලෙසයි. විශේෂයෙන්ම ගිලන්රථ සහ රෝගීන් ගෙන එන වාහන වලවල්වල වැටීමෙන් දැඩි අපහසුතාවට පත්වන බව ඔවුහු පෙන්වා දුන්හ. 

මම මේ ගැන මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා දැනුවත් කර කඩිනමින් මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලා සිටියෙමි. ප්‍රධාන රෝහලකට ප්‍රවේශ මාර්ගයක් වන හෙයින් ඉහලම ප්‍රමුඛතාවයෙන් සතියක් ඇතුලත මාර්ගය කාපට් අතුරා සකස් කර දීමට එතුමා කටයුතු යෙදීය. දිගු කලක් තිස්සේ ඉටුනොවූ ඉල්ලීමක් සතියක කාලයකින් ඉටු වූ හෙයින් සතුටට පත් වූ රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් මාර්ගය විවෘත කිරීමට පැමිණෙන ලෙස මට ආරාධනා කළේය. මා මැදිහත්ව සිදුකල කටයුත්තක් මා පැමිණ විවෘත කිරීමේ කිසිදු වරදක් මම නොදකිමි. 

කෙසේ නමුත් කාර්යබහුල තත්වය නිසා මට එහි යාමට සිදු වුයේ පසුගිය සදුදා දිනය. ඒ ප්‍රදානයක් ලෙස ලැබුණු  තවත් උපකරන තොගයක් රෝහලට බාර දීමටයි. එදිනටම පුවරුවක් නිරාවරණය කර මාර්ගය විවෘත කිරීමට ප්‍රදේශයේ තරුණ පිරිස කටයුතු යෙදීය. ඒ සදහා ඔවුන්ගේ මුදලින් පුවරුවක් සවි කළේය. කෙසේ නමුත් කුහකයන් පිරිසක් පෙර දින එය හොර රහසේම ගලවා ගෙන ගොස් තිබිණි.

මේ නිසා තරුණ පිරිස නැවතත් මුදල් එකතු කර මාගේ ජායාරෑපය ලොකුවට යොදා යලි පුවරුවක් සකසා විවෘතයට අවස්ථාව සැලසීය.  මාර්ගය සකස් කළේ රජයේ මුදලින්ය;  පුවරුවට රජයේ මුදල් වැය නොවීය. පුවරුවේ දැක්වෙන්නේ "මාගේ ඉල්ලීමකට අනුව මාර්ග සංවර්ධන අධිකාරිය මගින්" ප්‍රතිසංස්කරණය කළ වගයි. පුවරුව ප්‍රදේශයේ තරුණයන් සකස් කල එකකි. මාගේ පෞද්ගලික මුදලින් මාර්ගය ඉදි කළ වගක් එහි නොදැක්වේ. දැන් මෙහි ඇති වැරැද්ද කුමක්ද? 

ගෙවුණු වසර 50 තුළ සිස්ටම් චේන්ජ් කරන්න කතා කර කර හිටි දේශපාලන පක්ෂයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාමාර්ග අඩි දෙකක් හෝ අලුතින් ඉදි කර නැත. එහි සාමාජිකයන්ට මෙය ප්‍රශ්නයක් වුවද මට එහි ප්‍රශ්නයක් නැත.  

චන්න ජයසුමන.

RN