මේ මහා දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තේ අපියි. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරනවා - ගම්මන්පිල

මේ මහා දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තේ අපියි. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරනවා - ගම්මන්පිල

3 April 2021 09:22 am

ආණ්ඩුවට 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන් මේ දැවැන්ත දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ නායකයින් වශයෙන් ඒ 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කරගැනීම සඳහා තමන් ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරමින් සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 

"සමහරු අපෙන් අහනවා ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදද කියලා. කොළඹ නගරයට ගියාම අහන්නෙ සර් මණ්ඩලේ කචල්ද කියලා. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව ඇත්තයි. ඒ අරගලය කරන්නෙ ආණ්ඩුව නැති කරන්න නෙවෙයි, ආණ්ඩුව රැකගන්න. විශේෂයෙන්ම මේ රටේ ජනතාව දුන්නු ජනවරම රැකගන්න. ජනතාව තැබූ විශ්වාසය රැකගන්න. 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගන්න. 

අපි දන්නවා 20 වැනි සංශෝධනයේ තිබුණු සමහර කරුණු ජන වරමට පටහැණියි. ජනවරම සුරකිනවා නම් 20 වැනි සංශෝධනය ඒ හැටියට එන්න විදියක් නෑ. ජනවරම සුරකිනවා නම් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මේ ආණ්ඩුවෙ කිසිම නායකයකුගෙ හිතේ සංකල්පයක්වත් පැලවෙන්න බෑ. ජනවරම සුරකිනවා නම් රටේ නීතිය සුරකින නිලධාරීන්ව හිංසාවට පත්වෙන තීන්දු දේශපාලන නායකයින් ගන්න විදියක් නෑ. මේවා සිදුවෙනවා කියන්නෙ 69 ලක්ෂයේ අභිලාෂයන්ට එරෙහිව යනවා කියන එකයි. ජනතාව අපට දුන්නු ජන වරමට එරෙහිව යනවා කියන එකයි. 

මේ ආණ්ඩුව රැකගන්න නම් අපි වරදින තැනදි හඬ නඟලා ඒක නිවැරදි කරගන්න ඕනෙ. මගේ ජීවිතේ මට වැඩියෙන්ම බැනලා තියෙන්නෙ අම්මයි තාත්තයි වගේ, අපි මේ ආණ්ඩුවට බනින්නෙ ආණ්ඩුව හදාගන්න, ආණ්ඩුවට තියෙන ආදරේ නිසා. මේ ආණ්ඩුව නිසි මග ගෙනයාමේ වගකීමක් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කිව්ව, මේ මහා දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරපු පුද්ගලයින් විදියට අපට ලොකුවටම තියෙනවා. අන්න ඒ ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සුරැකීමේ අරගලයක් තමා අපි ආණ්ඩුව තුළ කරන්නෙ. 

ආණ්ඩුව ආ දුර කෙටියි, යා යුතු දුර දිගයි. ඒ නිසා අපි නිවැරදි වියයුතු තැන්වලදි නිවරදි කරගත්තොත් යා යුතු දුර නිවැරදිව ජනතා ආශිර්වාදය මැද්දෙ ගමන් කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. 

RN