ගරු පිල්ලෙයාන් තුමනි, SI මහතාට දුන් පගාව දැන්වත් ආපසු ඉල්ලා ගන්න !

ගරු පිල්ලෙයාන් තුමනි, SI මහතාට දුන් පගාව දැන්වත් ආපසු ඉල්ලා ගන්න !

15 January 2021 07:43 am

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2015 ඔක්තෝබර් මාසයේදීය. 

ඒ මහතාව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව විමර්ශනය ඉදිරියට ගෙනයාම සඳහා එම සිදුවීමෙහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට වුවමනා වී තිබිණි. එම ප්‍රකාශ දෙමළ භාෂාවෙන් සටහන් කරගත යුතු නිසා රහස් පොලිසියේ දෙමළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයකු මඩකලපුව ප්‍රදේශයට පිටත් කර යවා තිබුණු නමුත් එම නිලධාරියා ආපසු පැමිණ තිබුණේ සාක්ෂි සටහන් කරගැනීමකින් තොරවය. 

එහිදී එම විමර්ශනය බාරව සිටි රහස් පොලිස් නිලධාරීන් ඔහුගෙන් විමසා ඇත්තේ මෙම ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි වලින් තොරව පිල්ලෙයාන්ගේ ප්‍රකාශයෙනුත් ඵලක් නොමැති නිසා ඔවුන්ගේ සාක්ෂි ලබා නොගත්තේ මන්ද යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පවසා තිබුණේ එම සාක්ෂිකරුවන් ඉතා දුරබැහැර ප්‍රදේශවල පදිංචි අය බවත් ඔවුන්ට පණිවිඩ යැවූ නමුත් නොපැමිණි අතර සොයාබැලීමට ගියත් තමන්ට ඔවුන්ව සොයාගැනීමට නොහැකිවුණු බවත්ය. 

අවස්ථා කිහිපයකදීම මේ ආකාරයෙන් විවිධ කතා කියමින් මෙම උප පොලිස් පරීක්ෂකවරයා අදාළ සාක්ෂි සටහන් කිරීම මගහැරීම තුළ විමර්ශන නිලධාරීන්ට ඔහු කෙරෙහි සැකයක් පහළ වී තිබිණි. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් සිදුකිරීමේදී අනාවරණය වී තිබුණේ සාක්ෂි සටහන් කරගැනීම සඳහා මඩකලපුවට ගිය අවස්ථාවේදී පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් විසින් උප පොලිස් පරීක්ෂකවරයාට අල්ලස් දී ඇති බවකි. ඒ අනුව ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී රුපියල් 50,000 බැගින් දෙවතාවකදී බැරවී ඇති බවත් අනාවරණය විණි. 

එම මුදල් පිළිබඳව විමසීමේදී උප පොලිස් පරීක්ෂකවරයා මුලින් පවසා තිබුණේ තමන්ගේ යහළුවෙකුගෙන් එම මුදල ඉල්ලාගත් බවකි. එසේ නම් යහළුවාව ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් අවස්ථාව ලබා දුන්නත් ඔහුට එය කළ නොහැකි විය. ඒ අනුව ඔහු වැඩ තහනමට ලක් කෙරුණු අතර ශානි අබේසේකරලා රහස් පොලිසියේ සිටින තාක් කල් ඔහුට නැවත සේවයෙහි පිහිටවූයේ ද නැත. 

ගරු පිල්ලෙයාන් මහතාණෙනි, 

නඩුවෙන් ද නිදහස් වී ආණ්ඩු පක්ෂයෙහි ද ප්‍රබලයෙකු වශයෙන් කටයුතු කරන නිසා දැන් ඔබට එකී උප පොලිස් පරීක්ෂකවරයාට කළගුණ සැලකීමේ මහඟු අවස්ථාව උදාවී ඇත. ඔබගේ ගෝලයින් ඔහුට ලබාදුන් අල්ලස් මුදල් ද නැවත ඉල්ලාගෙන ඔහුව යළි සේවයෙහි පිහිටවීමට ඔබට දැන් හැකිය. එය වළක්වන්නට ශානි අබේසේකරලා ද දැන් රහස් පොලිසියෙහි නැත.