පාස්කු කොමිසමේදී හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රශ්න ඇසූ නීතීඥයින් ආවේ අඟහරු ලෝකයෙන්ද ?

පාස්කු කොමිසමේදී හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රශ්න ඇසූ නීතීඥයින් ආවේ අඟහරු ලෝකයෙන්ද ?

26 November 2020 07:14 am

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විහිළු සහගත ලෙස හැසිරෙන බවට ඒ මහතාගෙන් ප්‍රශ්න කළ නීතීඥයින් චෝදනා කළ බවක් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

අපට ඇති ප්‍රශ්නය නම් මේ නීතීඥවරුන් පැමිණියේ අඟහරු ලෝකයේ සිටද යන්නයි. 

මන්දයත් 2015 - 2019 කාලසීමාව තුළ මේරටේ සිදුවූ දෑ දන්නා කිසිවකු නම් ඔවැනි දෙයක් ප්‍රකාශ කරන්නට හැටියක් නොමැති නිසාය. 

රාජ්‍ය නායකයා වශයෙන්, රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන්, රටේ සේනාධිනායකයා වශයෙන් ඒ මහතා සැපයූ විහිළු තවත් කල්පයක් ගතවන තුරුම මේ රටේ ජනතාවගේ හදවත් තුළ නොමැකී පවතිනු ඇත. 

එතුමා සැපයූ විහිළු වල උච්ඡතම ස්ථානය වශයෙන් සැලකිය හැක්කේ 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියයි. එම අසාර්ථක ආණ්ඩු පෙරළියේ අවසන් ජවනිකාවේදීත් "රනිල් ආපහු අගමැති වුණොත් මං එක පැයක් මේ තනතුරේ ඉන්නෙ නෑ" යැයි තරයේ ප්‍රකාශ කළ ඒ මහතා ඉන් පසුව එක පැයක් නොව මාස 11ක්ම රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති පුටුවේ හිඳුවාගෙන ආණ්ඩු කළේය. 

එවැනි අයෙකු කුමක් හෝ කොමිසමක් හමුවට ගොස් දැන් කියන කතා එකිනෙකට පරස්පරයැයි අමුතුවෙන් ඔප්පු කිරීමට උත්සාහ කිරීම පවා හාස්‍යජනක ය. ඇත්තෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා විහිළුකාරී ලෙස හැසිරෙනවා නොව එය ඒ මහතාගේ හැටි බව රටේ ජනතාව හොඳහැටි දන්නවා ය.