කළගෙඩි දුම් හට්ටි තියෙන අපට පිටරට වැක්සීන් මක්කටැයි ?

කළගෙඩි දුම් හට්ටි තියෙන අපට පිටරට වැක්සීන් මක්කටැයි ?

19 November 2020 02:28 pm

මේ දිනවල 2021 අයවැය පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කරමින් තිබේ. එහිදී ආණ්ඩු පක්ෂයේ දැඩි අවධානයක් යොමුව ඇත්තේ ආනයන සීමා පැනවීමේ අගය වර්ණනා කිරීමටය. 1970 - 77 යුගයේ අභිමානය සිහිපත් කරමින් ඒ ළඟින් යන ක්‍රමයකට ජනතාව දැන්ම තියා මානසිකව සූදානම් කිරීමටය. 

අනෙක් අතින් මේ දිනවල ලංකාවේ මෙන්ම ලෝකයේ ද ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ කොවිඩ් 19 නම් කොරෝනා වෛරසය නිසා උද්ගත වී ඇති තත්වයයි. ආණ්ඩුවේ බලධාරීන් පසුගිය දින කිහිපය පුරාම පෙන්වා දෙමින් සිටියේ මේ චීන හෙම්බිරිස්සාව නිසා රජයට කරන්නට සිදුව ඇති කෝටි 7000ක පමණ වියදම ගැනය. මේවා ඔක්කොම සිදුවෙන්නේ ඔය පිටරටවල සෞඛ්‍ය සංවිධාන කියනා දෑ අහන්නට යන නිසාය. 

ඕනෑම චීන හෙම්බිරිස්සාවකට මුහුණ දීම සඳහා අපට අපේම කළගෙඩි සහ දුම් හට්ටි තිබේ. ඒවා බලගැන්වීම සඳහා හිමාල වනයේ සිට කුණ්ඩලීනී ශක්තිය අවදිකරවාගෙන පැමිණි ඒලියන්ත වයිට් නම් වෛකල්පිත මහා වෛද්‍යාචාර්ය ඉසිවරයාත් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි කෙළපැමිණි නමුත් එය අළුයම ලූ කෙළපිඬක් මෙන් දවාලට ඉවත හෙළා ( හවසට PP කිරීම වෙනම කතාවකි ) නාථ දේව මණ්ඩලයෙන් බෙහෙත් අසන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාත් සිටිති. 

තුන් ලෝකයටම නොමැති එවන් මානව සම්පත් දෙකක්ම අප සතුව තිබියදී ඔය එක එක රටවලට මුදල් ගෙවීමේ වුවමනාවක් අපට තියෙන්නට විදියක් නැත. එහෙයින් කුණ්ඩලීනී ශක්තියෙන්, නාථ දෙවි බලයෙන් හා පාරම්පරික දුම් හට්ටියෙන් අපට අපේ ප්‍රශ්න විසඳාගත හැකි බව ලෝකයටම කිව යුතුය. අප ස්වාධීන ස්වෛරී රටක් හෙයින් කිසිදු බාහිර බලවේගයක් අපේ රටේ කිසිදු ප්‍රශ්නයකට අත පෙවීම අප කිසිසේත්ම නොඉවසන බව තරයේ ඔවුන්ට අවධාරණය කළ යුතුය. 

නැවතත් කොවිඩ් ප්‍රශ්නය ගැන බැලුවහොත් දැනට ඇමරිකාව සහ එංගලන්තය වැනි අධිරාජ්‍යවාදී රටවල් සොයාගත් බව කියන ඊනියා යුදෙව් ක්‍රිස්තියානි බටහිර එන්නත් අපේ රටට ගෙන්වීමට කෝටි ප්‍රකෝටි ගණනින් ඔවුන්ට මුදල් ගෙවීම අපට කොහෙත්ම තරම් නොවේ. එහෙයින් වහාම ඔය කියනා කොවිඩ් එන්නත් වලටත් දැන්ම තියා ආනයන තහනමක් පැනවිය යුතුය. 

ඇත්තෙන්ම මේවා අයවැයෙන්ම කරන්නට තිබුණු දේවල්ය. දැන් පමා වී නමුත් අයවැය පසු විපරමකදී හෝ මෙවැනි උතුම් යෝජනා ඇතුළත් කිරීමට නාථ දේවානුභාවයෙන් බලධාරීන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. ඔය එන්නත් හොඳයි කියනා ලෝකයේ හැම එකාලාගෙන්ම අපි අසන්නේ "මෙච්චර මේ කළගෙඩි දුම්හට්ටි තියෙන අපට පිටරට වැක්සීන් මක්කටැයි ?" කියාය. 

ඔබ සැමට ඒලියන්ත රාජකීය වෛද්‍ය උතුමාණන්ගේ සහ පාදෙනිය රජයේ වෛද්‍ය උතුමාණන්ගේ පිහිටාරක්ෂාවය !