පවිත්‍රා දේවිය මුහුදට බිලි දීමට ආණ්ඩුව සූදානමින් !

පවිත්‍රා දේවිය මුහුදට බිලි දීමට ආණ්ඩුව සූදානමින් !

11 November 2020 06:45 am

ඉදිරි කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කඹ ඇදිල්ලක් පවතින බව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයට රහසක් නොවේ. කොරෝනා මර්දනයේදී පෙන්වූ අසාර්ථකත්වය සහ කොරෝනා මර්දන මෙහෙයුම කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීම සම්බන්ධයෙන් වගකීම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පැවරෙන අතරේ ඇය වෙනුවෙන් මේ වනවිට පෙනී සිටින්නේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පමණක් බව වාර්තා විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවා සිටින්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසමත් වූ බවට මතයක බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන්නේ නම් දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අය අතරින් එම තනතුරට පත්වීමට වැඩිම අවස්ථාව පවතින්නේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාටය. 

කෙසේවෙතත් මීට සුදුසුම පුද්ගලයා වශයෙන් ගණන් බැලෙන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. නමුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යනු ඇයගේ සැමියා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මෙන්ම දැඩි අනම්‍ය චරිතයකි. තමන් දන්නා දෙයක් නිවැරදිව කරනවා විනා කාගේ හෝ පදයකට නැටීමට ඇය කැමති නැත. සාමාන්‍යයෙන් එවැනි චරිතවලට දේශපාලනයේදී තැනක් හිමි නොවෙන අතර තැන ලැබෙන්නේ ඉහළින් එන නියෝගවලට අනුව ඕනෑම කළගෙඩි නැටුමක් නටන්නට සූදානම් අයටය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට මෙම තනතුර හිමි නොවන්නේ නම් ඊට බලපාන ප්‍රධාන හේතුව වනු ඇත්තේ ඇයගේ මෙම සෘජු, අනම්‍ය ස්වභාවයයි. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආධුනිකයින්ට අවස්ථාව ලබාදීමට කැමති නිසා සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා ඒ මහතාගේ තේරීම වී ඇත්තේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය බව සඳහන්. 

බැසිල් රාජපක්ෂ මහතාගේ මතය වී ඇත්තේ විෂය පිළිබඳ හොඳින්ම දන්නා අයෙකු මීට පත් කළ යුතුය යන්න වන අතර ඒ අනුව ඒ මහතාගේ ද වැඩි කැමැත්ත වී ඇත්තේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියව මෙම තනතුරට පත්කිරීම බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 

එසේම පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් කටයුතු කිරීමේදී තමන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වන අතර මේ පිළිබඳ අප කළ විමසීමකදී ඒ මහත්මියගේ උපදේශකයකු පැවසුවේ පවිත්‍රා මහත්මිය යනු රැකියාවක නිරත වන අවංක අහිංසක කාන්තාවක් බවත් රැකියාවක් කිරීම යනු හාම්පුතුන් කියනා ආකාරයට වැඩකිරීම බවත් එය දේශපාලනයේ හැටි බවත්ය.