CCDයේ මධුෂ් මෙහෙයුමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගොඩේ ගොඩ !!

CCDයේ මධුෂ් මෙහෙයුමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගොඩේ ගොඩ !!

20 October 2020 02:12 pm

කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අද (20) අළුයම සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමකදී මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් දැනට ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා වෙනත් රටවල සිටින ශ්‍රී ලාංකික සැකකරුවන්ට තමන්ට නැවත ශ්‍රී ලංකාවට බාර නොදෙන්නැයි එම රටවල් වලින් ඉල්ලා සිටීමට ඉතාම ප්‍රබල අවස්ථාවක් ලැබී ඇති බව නීති ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව තිබේ. 

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි මාකඳුරේ මධුෂ්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලද්දේ උදර්පණ නීතිය හරහාය. රටක් විසින් තමන් සන්තකයේ සිටින සැකකරුවෙක් තවත් රටකට බාරදෙන්නේ මෙම උදර්පණ නීති යටතේය. එසේ උදර්පණ නීති යටතේ මෙරටට ගෙන්වා ගත් මාකඳුරේ මධුෂ්ව වසර එකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අතර ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී දින හතරක් තුළ ඝාතනයට ලක්විය. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාම පැවසූ ආකාරයට ඔහු මියගොස් ඇත්තේ වෙඩි හුවමාරුවක් ඇතිවූ අවස්ථාවකදී පොලිස් වෙඩි ප්‍රහාරයකිනි. 

මේ අනුව දැනට ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබාගෙන සිටින සැකකරුවන් වෙනත් රටකදී අත් අඩංගුවට පත්වුව ද ඔවුන්ට තමන්ව ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඉල්ලා සිටීමට මෙම සිදුවීම ප්‍රබල සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකිවේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේදී තමන්ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුවන බව, ශ්‍රී ලංකා පොලිසිය තමන්ව අධිකරණයට ඉදිරිපත් නොකර මරා දැමීමට ඉඩ ඇති බව මාකඳුරේ මධුෂ්ගේ උදාහරණය සහිතව පෙන්වා දෙමින් ඔවුන්ට තමන්ව ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඉල්ලා සිටීමේ අවස්ථාව ලැබේ. අනීතිකව කටයුතු සිදුවන ආකාරයක් පෙනෙන්නට ඇති නම් ජාත්‍යන්තර පොලිසිය සැකකරුවන් තම ජීවිතාරක්ෂාව පිළිබඳ කරන ඉල්ලීම් බැරෑරුම් ලෙස භාරගනී. ඒ, අත් අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වගකීමක් නොදැරුවත් ජාත්‍යන්තර පොලිසිය වශයෙන් ඔවුන් එම වගකීම දරනා නිසාය. 

අපේ රටේ සාමාන්‍ය ජනතාව හමුවේ ඕනෑම එකක් සාධාරණීකරණය කරගන්නා පරිද්දෙන් ජාත්‍යන්තර පොලිසිය සමඟ කටයුතු කරන්නට බැරි බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇත්තෙන්ම ජාත්‍යන්තර පොලිසිය සමඟ ගනුදෙනු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වන අතර ඔවුන්ට මෙහිදී කීමට දෙයක් ඉතිරි වන්නේ නැත. ජාත්‍යන්තර පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාශයෙන් කරුණු විමසන්නේ නැති නිසා ඔවුන් අපේ රටේ මාධ්‍යවලට මොනවා කීවත් ප්‍රතිඵලයකුත් නැත. 

එහෙයින් මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය දැනට විදෙස් රටවලට වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාතාල නායකයින්ට මෙන්ම රතු වරෙන්තු ලබා සිංගප්පූරුවේ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පවා මහඟු අවස්ථාවක් නිර්මාණය කරදී ඇති බවක් පෙනේ. මේ ආකාරයට නම් බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව ශ්‍රී ලංකාවේදී අසන්නට සිදුවන්නේ එහි ප්‍රධාන විත්තිකරු නොමැතිවය.