ඩීල් කප්පිත්තෙකුගේ පාටියකදී විමල් - බැසිල් ඩීල් එකක් දාලා. දැන් බලමු සිංහයෝ හැසිරෙන හැටි - හරීන්

ඩීල් කප්පිත්තෙකුගේ පාටියකදී විමල් - බැසිල් ඩීල් එකක් දාලා. දැන් බලමු සිංහයෝ හැසිරෙන හැටි - හරීන්

20 October 2020 08:35 am

ඩීල් කප්පිත්තෙකු වශයෙන් ප්‍රකට ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවති සාදයකදී බැසිල් රාජපක්ෂ මහතා විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවත් 20 වැනි සංශෝධනයට එරෙහිව මෙතෙක් පැවති වීරවංශ මහතාගේ ස්ථාවරය වෙනස් වන්නේද යන්න බ්‍රහස්පතින්දාට දැකගත හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 

"අපි දකිනවා ආණ්ඩුව තුළම විජේදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, විමල් වීරවංශ මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම මේ 20 ගැන කොන්දක් කෙළින් තියන් කතා කරනවා වගේ පේනවා. හැබැයි අපි දැන් කල්පනා කරලා බලන්න ඕනෙ, කමිටු අවස්ථාවට ආපුවාම ඔය කතා කරන මිනිස්සු කොහොම හැසිරෙයිද කියලා. කොන්ද කෙළින් තියන් ජනතාවගේ පැත්තෙ හිටගන්න පුළුවන් මන්ත්‍රීවරු ආණ්ඩුවෙ පැත්තෙ ඉන්නවා නම් අපි එතුමන්ලාට සර් කියන්න කැමතියි. සර් කෙනෙක් වෙන්න ජනතාව ගැන හිතන්න ඕනෙ. 

නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවෙ ඩීල් දේශපාලනය කරන ඩීල් කප්පිත්තෙක් ඉන්නවා. එතුමා ගිහිල්ලා හිටියා මේ පහුගිය දවස් ටිකක .... ( එතුමා ඉස්සරත් ඔය එල්ටීටීඊයට සල්ලි දීපු ප්‍රශ්නෙකට එහෙම කතා වුණා ) එතුමා බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ හමුවක් ලෑස්ති කරලා තිබ්බා එතුමාගෙ ගෙදර. මේක මාධ්‍ය දැනගන්නට ඕනෙ. එතනදි විශේෂ සාකච්ඡාවක් සිදුවෙලා තියෙනවා කොහොමද මේ 20ට සහයෝගය ගන්නෙ කියලා. 

ඒනිසා විමල් වීරවංශ මහත්තයා දැන් එතුමාත් සිංහයෙක් වගේ කතා කරනවා, හැබැයි පූස් පැටියෙක් නොවේවා කියනා ප්‍රාර්ථනා කරනවා මේ බ්‍රහස්පතින්දා හවස 7.30ට ඡන්දෙ එනකොට. මොකද විමල් වීරවංශ මැතිතුමා එක්ක අපට ලොකූ දේශපාලන ප්‍රශ්න තිබුණත් පහුගිය කාලෙ එතුමාගෙ හැසිරීම සම්බන්ධයෙන් පුංචි ආඩම්බරයක් තියෙනවා. එතුමා නිර්භීතව කතා කරමින්, මේකට සටන් කරමින් ජනතාවගේ පැත්තේ ඉන්නවා නම් අන්න අපි එතුමා ගැන ආඩම්බර වෙනවා. 

ඉතිං මේ කෙළින් කතා කරන එක ඩබල් ගේමක් වෙන්න බෑ. මේ රටේ සියලුම පූජ්‍ය පක්ෂය කියලා තියෙනවා 20 හොඳ නෑ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දැනට සිංහයින් මෙන් හැසිරෙන අය ද්විත්ව පුරවැසි මහමොළකරු සමඟ ඩීල් දැමූ ආකාරය තමන් මේ ආකාරයෙන් කලින්ම හෙළි කළ බව පැවසූ ඒ මහතා බ්‍රහස්පතින්දාට සිංහයන් හැසිරෙන ආකාරය දැකගැනීමට හැකිවනු ඇති බවත් පෙන්වා දුන්නේය. 

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (19) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN