චිචී පුතුට බාප්පාගෙන් අවවාදයක් !

චිචී පුතුට බාප්පාගෙන් අවවාදයක් !

18 October 2020 06:15 am

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් නිල නිවාස දෙකක් ලැබී තිබේ. ඒ, හිටපු ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතාට හිමිව ඇති විජේරාම පෙදෙසේ නිල නිවස සහ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයයි. 

අරලියගහ මන්දිරය සිය පදිංචිය සඳහා භාවිතා කළ ඒ මහතා පසුගිය දිනවල යළිත් විජේරාම නිල නිවසේ පදිංචියට ගොස් ඇති අතර අරලියගහ මන්දිරයේ රැඳී සිට ඇත්තේ ඒ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ය. 

රෝහිත මහතා සහ බිරිඳ සිය දෙවැනි දරුවා අපේක්ෂාවෙන් පසුවන අතර ඒ හේතුවෙන් බිරිඳගේ පාර්ශ්වයේ ඥාතීන් පිරිසක් ද අරලියගහ මන්දිරයේ නැවතීමට පැමිණ ඇති බව සඳහන්. 

කෙසේවෙතත් මේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඒ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව විජේරාම නිල නිවසටම යන ලෙස රෝහිත රාජපක්ෂ මහතාට අවවාද කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

රටේ අග්‍රාමාත්‍යවරයාගේ භාවිතය සඳහා ඇති අරලියගහ මන්දිරයෙහි අග්‍රාමාත්‍යවරයා රැඳී නොසිටී නම් එහි වෙනත් පවුලක් පදිංචි වී සිටීම ගැටළු සහගත නිසා මෙසේ ඔවුන්ටත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසටම යන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන්. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට හිමි නිල නිවස වන ජනාධිපති මන්දිරය පවා භාවිතා නොකරන අතර ඒ මහතා පදිංචිව සිටින්නේ මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේය. 

ප.ලි. - 

මෙම සිදුවීම සිදුවී දැනට සතියක පමණ කාලයක් ගතවී ඇති අතර රෝහිත රාජපක්ෂ මහතා මේ වනවිට පදිංචිව සිටින්නේ බැද්දගානේ දූව පාරේ ය.