20 ගැන සොයාබැලීමට අගමැති මහින්ද පත්කළ කමිටුවේ යෝජනා එළියට

20 ගැන සොයාබැලීමට අගමැති මහින්ද පත්කළ කමිටුවේ යෝජනා එළියට

17 September 2020 09:57 am

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුව රැස්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කළ යෝජනා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පමණක් ලබාදෙන බව එම කමිටුවේ සාමාජික මැති ඇමතිවරුන් එදින ප්‍රකාශ කළ ද ඒවා ආණ්ඩුවේම ප්‍රබලයකුට අයත් "ලංකා සී නිව්ස්" වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කර තිබේ. 

ඔවුන් පළ කළ පුවත පහතින් දැක්වේ. 

**********************************************************************

ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපති වීමට බෑ.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීමට හැකියි..- 20 ගැන පත් කල කමිටුවේ යෝජනා මෙන්න..

ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපති ධූරයට පත්වීමට පමණක් නොහැකි වන ලෙස විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනය විය යුතු බව එම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු විසින් යෝජනා කර තිබේ.

දහනවවන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බව ඇතුළත් කර තිබුණි.

නමුත් 20 වන සංශෝධනයෙන් ඒ සියලු සීමා ඉවත් කර තිබුණද ඒ සඳහා පත්කළ කමිටුවෙන් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් එම සීමා පැනවීමටයි.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය විගණකාධිපතිගේ විගණන බල යටතට පත් කරන අතර විගණන කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය යෝජනා කර ඇත.

ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමකදි අධිකරණය හමුවේ වග උත්තරකරු කිරීමට අවස්ථාව ලබා දීමටද මෙම කමිටුව විසින් යෝජනා කර ඇත.

කැබිනට් ඇමැති මණ්ඩලය 30 දක්වා සහ කැබිනට් නොවන ඇමති ධුර 40 දක්වා පැවති සීමා තවදුරටත් පවත්වාගෙන යාමට මෙම කමිටු එකග වී ඇත.

ඇමති මණ්ඩල දිවුරුමේදී ඒකීයභාවය ආරක්ෂා කරන බවට පෙර තිබූ වගන්තිය කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට කමිටුවේ එකඟතාවය පළ වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පස් දෙනකු දක්වා ඉහළ දැමීමට සහ එහි ඝන පූර්ණය තුන්දෙනෙකු කිරීමටත් කමිටුව විසින් යෝජනා කර ඇත.

කෙසේ වෙතත් අදාල කමිටුවේ යෝජනා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර නැත.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර හෙට දිනට දින දාහතරක් සම්පූර්ණ වන නිසා හෙට සිට ඕනෑම දිනයක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවෙයි.