වජිර තමයි පක්ෂය විනාශ කරන විෂබීජේ - එජාපය තුළින් වජිරට එරෙහිව දැඩි විරෝධයක් !

වජිර තමයි පක්ෂය විනාශ කරන විෂබීජේ - එජාපය තුළින් වජිරට එරෙහිව දැඩි විරෝධයක් !

10 August 2020 10:38 am

වජිර අබේවර්ධන යනු එක්සත් ජාතික පක්ෂය විනාශ කරන විෂබීජයක් බව පවසමින් පක්ෂය තුළින්ම දැඩි විරෝධයක් මතුව ඇති බව වාර්තා වේ. 

පක්ෂය තුළ සෑම වැදගත් සාකච්ඡාවකදීම සෙසු අයට අදහස් දැක්වීමට නොදී මැදින් පැන කතා කරන්නෙකු වශයෙන් සහ සෙසු නායකයින්ගේ අදහස් නොසලකා කැපී පෙනෙන්නට උත්සාහ දරන්නෙකු වශයෙන් මෙන්ම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලීක් කරන්නෙකු වශයෙන් ද වජිරට එරෙහිව පක්ෂය තුළ පසුගිය මාස කිහිපයක් පුරාම විරෝධයක් මතුවෙමින් තිබුණු අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම පක්ෂයට  කිසිදු ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නොවන බවට මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කිරීම නිසා එම විරෝධය උත්සන්න වී තිබිණි. 

එජාපයට ලැබී ඇති එකම මන්ත්‍රීධුරයත් එජාපයේ මීළඟ නායකත්වය ලබාගැනීම සඳහා දැනට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරත් තමන්ට ලබාගැනීම සඳහා එජාප ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩලය ලවා ඊයේ යෝජනාවක් සම්මත කරවා ගැනීමත් සමඟ වජිර අබේවර්ධන මහතාට එරෙහිව පක්ෂයේ සෙසු නායකයින්ගේ විරෝධය පුපුරා ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වැරදි තොරතුරු සපයමින් වැරදි තීන්දු ගැනීමට පෙළඹවූ අංක එකේ පුද්ගලයා ලෙස වජිර යනු රාජපක්ෂලාගේ කොන්ත්‍රාතුවක් එජාපය තුළ ඉටු කරන්නෙකු බවට එජාප ඉදිරිපෙළ නායකයින්ගෙන් චෝදනා එල්ල වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.