ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නිසා සජබ සමගියට හානි වියයුතු නෑ - දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නිසා සජබ සමගියට හානි වියයුතු නෑ - දෙමළ ප්‍රගතිශීලී සන්ධානය

8 August 2020 03:16 pm

සමගි ජන බලවේගය පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම ගැටළු සහගත වී ඇති බව මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්ව තිබේ. 

මෙම ගැටළුවට හේතුවී ඇත්තේ සමගි ජන බලවේගය වශයෙන් මැතිවරණය සඳහා සන්ධානගත වන අවස්ථාවේදී එහි සෙසු පක්ෂවලට වාචිකව ලබාදුන් පොරොන්දු අනුව එම පක්ෂ තම තමන්ට ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබිය යුතු බව අවධාරණය කරමින් සජිත් ප්‍රේමදාස මහතාට බලපෑම් කිරීමයි. 

රවුෆ් හකීම්, රිෂාඩ් බදූර්දීන් සහ චම්පික රණවක යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂ මෙසේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටින අතර එක් පක්ෂයක් මැතිවරණයේදී පරාජයට පත්වූ අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස ඉල්ලා ඇති බව ද සඳහන්. 

කෙසේවෙතත් මනෝ ගනේශන්, පලනි දිගම්බරන් සහ වී රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඊට වෙනස් මතයක් දරමින් සිටින බව ද ආරංචිමාර්ග සඳහන් කරයි. 

ඔවුන්ගේ මතය වී ඇත්තේ මෙම මැතිවරණ ව්‍යාපාරය සඳහා මහත් කැපකිරීමක් කළ සජිත් ප්‍රේමදාස මහතාව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් වෙනුවෙන් පීඩාවට පත් නොකළ යුතුය යන්න බවයි ආරංචිමාර්ග පැවසුවේ. 

සමගි ජන බලවේගයෙහි සමගිය රැක ගැනීම සියල්ලටම වඩා වැදගත් බව ඔවුන් සාකච්ඡාවට ගෙන ඇති අතර පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාවක් බවත් ලැබී ඇති ජාතික ලැයිස්තු ආසන සංඛ්‍යාව අතිශයින් සීමිත නිසා එය වඩාත් සුදුසු ආකාරයට බෙදා හැරීම සජිත් ප්‍රේමදාස මහතාටම පැවරිය යුතු බවත් ඔවුන්ගේ මතය වී ඇතැයි වාර්තා විය.