දිලිත් ශානිව බලන්න යද්දී නීතිපති බලන්න ආරක්ෂක ලේකම් කඩිමුඩියේම ගිහිල්ලා !

දිලිත් ශානිව බලන්න යද්දී නීතිපති බලන්න ආරක්ෂක ලේකම් කඩිමුඩියේම ගිහිල්ලා !

6 August 2020 06:05 am

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සුවදුක් විමසීම සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා ඊයේ (05) මහර බන්ධනාගාරයට ගොස් තිබිණි. 

ඔවුන් දෙදෙනා ම ගාල්ල ප්‍රදේශයේ යාබදව වාසය කළ අය වන අතර යම් ඥාති සම්බන්ධතාවක් ද ඔවුන්ට ඇති බව සඳහන්. ඒ අනුව දිලිත් ජයවීර මහතා ශානි අබේසේකර මහතාව හමුවීම සඳහා මහර බන්ධනාගාර රෝහලට ගොස් තිබුණු අතර පැරණි හිතවත්කම් මත සිදුකෙරුණු සාකච්ඡාවක් විනා නඩු කටයුතු ආශ්‍රිත තත්වයන් සම්බන්ධයෙන් ඔවුන් අතර කතාබහක් සිදුව නොමැති බව ද වාර්තා විය. 

ඊට වඩා කුතුහලය දනවන කාරණයක් වන්නේ පෙරේදා (04) දිනයේ ශානි අබේසේකර මහතාට එරෙහි නඩුවට අදාළව අත් අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කඩිමුඩියේම නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවීමට යාමය. 

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ ගිනිඅවි සිදුවීමකදී ශානි අබේසේකර මහතා සමඟ එක්ව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළේය යන චෝදනාව යටතේ මෙන්ඩිස් නමැති උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා දිනයේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබුණේ ශානි අබේසේකර මහතාව කොටුකර ගැනීම සඳහා සාක්ෂි දෙනමෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තමන්ට බලපෑම් කළ බවකි. 

මෙයින් දැඩි ලෙස කලබලයට පත්වූ ආරක්ෂක ලේකම්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා සහ එම කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ද කැටුවම නීතිපතිවරයා හමුවීමට ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කෙසේවෙතත් ඔවුන් සාකච්ඡා කළේ ශානි අබේසේකර මහතා සම්බන්ධ සිදුවීම පිළිබඳවද, එසේත් නොමැති නම් මත්කුඩු ප්‍රවාහනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් උකුස්සා සහ පූසා පිළිබඳවදැයි අප දන්නේ නැත.