රනිල් කොළඹින් පැරදුනත් සජිත් නිසා සුනේත්‍රා නං ගොඩයන ලකුණු !

රනිල් කොළඹින් පැරදුනත් සජිත් නිසා සුනේත්‍රා නං ගොඩයන ලකුණු !

14 July 2020 06:09 pm

 
හිටපු ඇමතිවරයෙකු වන එස්. ද එස්. ජයසිංහ මහතාගෙන් පසු ඔහුගේ නාමය ඉදිරියට ගෙනයමින් දේශපාලනයේ රැඳී සිටින්නේ දියණිය සුනේත්‍රා රණසිංහ මහත්මියයි. 1994 ට පෙර ඇය රාජ්‍ය ඇමති තනතුරක්ද දැරූ නමුත් 94 න් පසුව ඇය අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූ නමුත් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීමට අසමත් විය.
 
මේ වනවිට දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ අර්ධ වශයෙන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇති අතර අවලංගු දේශපාලන කාසියක් බවට පත්වීමට ඔන්න මෙන්න තරමේය.
 
ඒ සුනේත්‍රාට මෙවර මහ මැතිවරණයේදී මහා අහම්බයක් කඩා පාත් වී තිබේ. එජාපයෙන් තරග වදින සුනේත්‍රාගේ මෙවර මනාප අංකය 20 යි. එජාපයේ බහුතරයද කඩාගෙන ගොස් ටෙලිෆෝනයෙන් තරග වදින සජිත් ප්‍රේමදාසගේ මනාප අංකය ද අංක 20 ය.
 
මේ දිනවල සුනේත්‍රාගේ දෙහිවල කාර්යාලයට පැමිණෙන අහිංසක එජාප පාක්ෂිකයන් කාර්යාලයේ සිටින පුද්ගලයන්ගෙන් විමසා සිටින්නේ 'සර්, දැං අලියාට කතිරෙ ගහලා අංක 20 ට කතිරෙ ගැහුවම අපේ සජිත් මහත්තයා දිනනවා නේදැ'යි කියාය. කාර්යාලයේ සිටින සුනේත්‍රාගේ ආධාරකරුවන්ද පවසන්නේ 'ඔව් ඔව් අම්මෙ, තාත්තෙ, අලියා ඉස්සරහා කතිරෙ ගහලා අංක 20 ත් කතිරෙ ගහන්න. එතකොට සජිත් මහත්තයා උඩින්ම දිනනවා' යනුවෙනි.
 
අප කෙතරම් පිළිගැනීමට අකමැති වුවද මෙරට ඡන්දදායකයන් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් අතිශය නූගත්ය. ඔවුන් දන්නේ තමන්ගේ පක්ෂය කියන දෙයක් අසා ඔවුන් කියන පරිදි කතිරය ගැසීමට පමණි. එවැනි ඡන්දදායකයන් බහුතරයක් එජාපයට අයත්ය. අනෙක් අතින් එජාප පාක්ෂිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් කැපුවත් කොළය. සජිත් ප්‍රේමදාස මහතා මෙවරත් තරග කරන්නෙ එජාපයෙන් යැයි විශ්වාස කරන ඡන්දදායකයන් රැසක් සිටිනවා යැයි කීමද අතිශයෝක්තියක් නොවේ.
 
ඒ අනුව අලියා ඉදිරියේ කතිරය ගසා සජිත්ට මනාප දෙන සියලු දෙනාගේ ඒ මනාප වැටෙන්නේ සුනේත්‍රාගේ ගොඩටයි.
 
එජාපයට මෙවර කොළඹින් මන්ත්‍රී ආසන කිහිපයක් හෝ ලැබීම අනිවාර්ය වේ. ඒ අනුව එම කිහිප දෙනා අතර සුනේත්‍රා රණසිංහ මහත්මිය සිටීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ ඇයට මනාප ලැබෙන නිසාම පමණක් නොවේ. සජිත්ගේ මනාප ද ඇයට හිමි වන නිසාය.