එතනෝල් ජයලත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරට !

එතනෝල් ජයලත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරට !

26 May 2020 05:56 am

"සුරා බදු කොමසාරිස් ජනරාල් තනතුරටත් ළඟදීම මේජර් ජනරාල්වරයෙක්" මැයෙන් පෙරේදා (24) අප පළ කළ පුවතත් සමඟ ශ්‍රී ලංකාවේ කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවකු වන ජයලත් පීරිස් නොහොත් එතනෝල් ජයලත් මහත් කලබලයට පත්ව සිටින බව වාර්තා වේ. 

ඔහු සිය හිතවත් ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එදින ප්‍රකාශ කර ඇත්තේ "මේක හරියන්නෙ නෑ. හැමතැනම හමුදාකාරයෝ. රේගුවටත් දැම්මා, සෞඛ්‍යයටත් දැම්මා, කෘෂිකර්මෙටත් දැම්මා, දැන් සුරා බදු එකටත් දාන්න ලෑස්තිය. 

මෙහෙම ගියොත් මොකද්ද මේ රටට යන කල ? මුළු රටම හමුදාවට බාරදුන්නා වගේ නේ මේක ?" යනාදී වශයෙනි. 

ඒ අනුව ජයලත් පීරිස් නොහොත් එතනෝල් ජයලත් මේ වනවිට ඉතාම ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මිලිටරිකරණයට විරුද්ධ පුද්ගලයෙකු බවට පත්ව සිටී. 

ඔහුට ඇති ඇත්තම ප්‍රශ්නය මිලිටරිකරණය පිළිබඳ එකක් නොව වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාව තනතුරින් ඉවත් කිරීමට සූදානම් වීම පිළිබඳ එකකි. එතනෝල් ජයලත් යනු බෝදරගම මහතාගේ හොඳම මිත්‍රයකු නිසා බෝදරගම මහතාව තනතුරින් ඉවත් කළහොත් වැඩිම පාඩුව වන්නේ ජයලත්ටය. 

එතනෝල් ජයලත් යනු මෙරටදී හමුවන ඉතාම සුවිශේෂී අයෙකි. ඒ, බැලන්ස් කිරීමේ කලාව පිළිබඳ මෙරට අංක එකේ ප්‍රවීණ ජාවාරම්කරුවා වන්නේ ඔහු නිසාය. 

ඔහු මේ දිනවලත් විකුණමින් සිටින්නේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන හිමිකරුවකු විසින් ගෙන්වූ එතනෝල් ය. 

බැලන්ස් කිරීමේ කලාවෙහි ඔහුගේ නිපුණත්වය කොතෙක්ද යත් ඔහු ජනතා විමුක්ති පෙරමුණ ශේප් කරගැනීම සඳහා එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ ජීවිත කතාව අළලා නිර්මාණය කෙරුණු "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටයත් නිෂ්පාදනය කළේය. ඒ, සිය දියණිය හරහාය. 

මාධ්‍යයත් ශේප් ය. ජාවාරම්කරුවන්ට ප්‍රබලම හිසරදය වන ජවිපෙ පවා ශේප් ය. 

එවන් එතනෝල් ජයලත් මහතා මේ දිනවල ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවාට අඳින්නට සැරසෙමින් සිටී.