ලංකාව ඉවත් වුණොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන-එන මං නැතිවෙන ලකුණු!

ලංකාව ඉවත් වුණොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන-එන මං නැතිවෙන ලකුණු!

21 May 2020 03:42 pm

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු චීනය විසින් තමන්ට අවශ්‍ය පරිදි නටවන රූකඩයක් බවට, චීනයේ බලල් අතක් බවට චෝදනා කළේ ලෝකෙට ලොක්කා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒ කොවිඩ් වෛරසය විසින් ඇමරිකාව බිලි ගැනීමට පටන් ගත් අවස්ථාවේදීය.
 
ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනය කරමින් කියා සිටියේ එම සංවිධානයට ලබාදෙන සියලු ඇමරිකානු අරමුදල් නැවැත්වීමට කටයුතු කරන බවයි.
 
ට්‍රම්ප්ගේ තර්ජනවලින් නොසැලුණු ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නොබියව, කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා ලෝක ව්‍යාප්ත මෙහෙයුමක් දියත් කරමින් සිටී.
 
කෙසේ වෙතත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වඩා බරපතල ලොව බලවත්ම ජාත්‍යන්තර සංවිධානයකට යන-එන මං නොමැති වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ රටවල් 200 කට ආසන්න ප්‍රමාණයක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.
 
ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබලතම සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව එම සංවිධානයෙන් ඉවත්ව යාමේ අවදානමක් මතුව තිබීමයි.
 
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 19 වැනිදා ප්‍රකාශ කළේ රටට අසාධාරණයක් වන අයුරින් හෝ රට බේරාගත් රණවිරුවන්ට අසාධාරණයක් සිදුවන අයුරින් හෝ යම් ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කරන්නේ නම් එම සංවිධානයෙන් ඉවත් වීම සඳහා කිසිවිටෙකත් පසුබට නොවන බවයි.
 
මෙම ප්‍රකාශයට අනුව අනාගතයේ ලෝකයට අත්විය හැකි ඉරණම සම්බන්ධයෙන්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය නාථ දේව මණ්ඩලය හරහා කරුණු සොයා බලා ඇති අතර නාථ දේව මණ්ඩලය පෙන්වා දී ඇත්තේ යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියටත් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බැවින් එම ආයතනයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ඉවත් වීමට සිදුවනු ඇති බවයි.
 
එසේ වුවහොත් එය සමස්ත ලෝකයටම එල්ල වන මරු පහරක් විය හැකි බව ද නාථ දේව මණ්ඩලය නලින් ද සිල්වා මහතාට පෙන්වා දී තිබෙනවා.
 
නලින් ද සිල්වා මහාචාර්යවරයා නව තනතුරේ වැඩ භාර ගැනීම සඳහා පසුගියදා මියන්මාරය වෙත ගිය අතර, තානාපති තනතුරේ වැඩ භාර ගැනීමද පසෙක තබා, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වුවහොත් අනාගත ලෝකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුට සිදුව තිබේ. එහිදී ඔහුට අනාගතය ගැන දැන ගැනීම සඳහා නාථ දේව මණ්ඩලය සමග සම්බන්ධ වීමට සුවිශේෂ හැකියාවක් ලැබී තිබීම සමස්ත ලෝකයේම වාසනාවකි.