රණවිරු කෙහෙළිය තුමන් මව්බිම බේරාගනිමින් ප්‍රභාකරන්ට අවසන් නිවේදනය නිකුත් කළ හැටි

රණවිරු කෙහෙළිය තුමන් මව්බිම බේරාගනිමින් ප්‍රභාකරන්ට අවසන් නිවේදනය නිකුත් කළ හැටි

19 May 2020 10:57 am

රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා යුධ ජයග්‍රහණයේ 11 වන සංවත්සරය සිහිකරමින් තමන් 2009 මැයි 17 වනදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට හමුදාවට බාරවීමට පැය 24ක් ලබාදෙමින් අවසන් නිවේදනය නිකුත් කළ ආකාරය සිය ෆේස්බුක් පිටුව හරහා රටටම සිහිපත් කර තිබේ. 

දැන් දැන් ඔය රණවිරුවන් යැයි කියාගන්නට දස දහස් ගණනින් අය සිටිය ද එදා රණවිරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා නන්දිකඩාල් කළපුව අසලදී තනියෙන්ම සටන් වැද ප්‍රභාකරන්ව කැලෑ රොදකට කොටුකර, යළි ලහි ලහියේ කොළඹ පැමිණ ස්වාධීන රූපවාහිනිය හරහා අවසන් නිවේදනය නිකුත් නොකළේ නම් මේ මව්බිමට මේ උත්තරීතර නිදහස උදා නොවන බව දන්නේ කෙළෙහිගුණ දන්නා මිනිසුන් පමණක්මය. 

ඇත්තෙන්ම මැයි 19 පොදුවේ සාමාන්‍ය රණවිරුවන්ව සමරන බැවින් කළ යුත්තේ මැයි 17 වනදා අතිවිශේෂ රණවිරු කෙහෙළිය රඹුක්වැල්ල දිනය ලෙස වෙනම නම් කර එදිනට රණවිරු කෙහෙළිය රඹුක්වැල්ල විරුවාණන්ගේ ප්‍රධානත්වයෙන් වෙනම සැමරුමක් සිදු කිරීමය. 

එහෙත් මේ රටේ සිටින බහුතරයක් එතරම් හොඳින් කෙළෙහිගුණ හෝ කෙහෙළිගුණ නොදන්නා නිසා එවැන්නක් සිදු කෙරෙන්නේ නැත. ඒ, ජාතියේ අවාසනාවය.