සිංහල අවුරුදු කන්න නැතිකළේ නාත්තන්ඩිය, අකුරණ, බේරුවල 3 දෙනෙක්, මට හරි කේන්තියි - දෙරෙන චතුර

සිංහල අවුරුදු කන්න නැතිකළේ නාත්තන්ඩිය, අකුරණ, බේරුවල 3 දෙනෙක්, මට හරි කේන්තියි - දෙරෙන චතුර

11 April 2020 09:04 am

සිංහල ජනතාවට මෙවර සුපුරුදු පරිදි අවුරුදු කෑමට නොහැකි වුණේ අවසන් වරට වාර්තා වූ රෝගීන් තිදෙනෙකුගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඊයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී ප්‍රකාශ කළේය. 

එහිදී එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ චතුර අල්විස් මහතා එම රෝගීන් පදිංචි ප්‍රදේශ සඳහන් කරන්නැයි විශේෂයෙන් ඉල්ලා සිටි අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නාත්තන්ඩිය, අකුරණ සහ කලුතර වශයෙන් සඳහන් කරද්දී චතුර අල්විස් මැදිහත්ව එය බේරුවල වශයෙන් අවධාරණය කළේය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ කතාවෙන් පසු චතුර අල්විස් පැවසුවේ "ඔබට එක පාරට කේන්තියක් එනවා ඇති නේද අපට අවුරුදු කන්න තිබිච්ච අවස්ථාව නැතිකළානෙ මේ අවසන් රෝගීන් තුන්දෙනා කියලා. මට ඒ කේන්තිය ආවා, ඔබටත් එනවා ඇති. ඉතිං ඒ කේන්තිය අපට ආපහු මෙතනින් එහාට ගෙනියන්න ඕනෙ නෑ" යනුවෙනි. 

පසුගිය අප්‍රේල් 02 වනදා සියලුම මාධ්‍ය ආයතන වෙත නිර්දේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමේදී ජනතාව තුළ වෛරය ඇතිවන පරිදි තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසයි. 

එහෙත් අතිශය නින්දිත මාධ්‍ය භාවිතාවක නියැළෙමින් සිය පුද්ගලික ජාතිවාදී වුවමනාවන් සහ සිය හාම්පුතුන්ගේ මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් වූ දේශපාලන වුවමනාවන් මුදුන්පත් කරගැනීම සඳහා මාධ්‍ය සංඛ්‍යාත අවභාවිතා කරන දෙරණේ චතුරලාගේ හැසිරීම තවමත් මේ ආකාරය. සමාජ මාධ්‍ය ජාල තුළ පළවෙන පුවත් සම්බන්ධයෙන් අතිශය සංවේදී වන පොලිසිය මේ විද්‍යුත් මාධ්‍ය මහා පරිමාණයෙන් සිදුකරන වෛරය ඇවිළවීම කොහෙත්ම දකින්නේ ද නැත. 

කරුණු වශයෙන් ගත්ත ද මේ ප්‍රකාශය අසත්‍යයක් වන අතර ඊයේ රාත්‍රියේ ද මීට සම්බන්ධයක් නොමැති ජා ඇල කුඩාවැල්ල ප්‍රදේශයේ රෝගියාට සම්බන්ධ තවත් 6 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබිණි. කොරෝනාව ජාතිවාදී අන්තයක් දක්වා තල්ලු කිරීමේ වුවමනාව ඇත්තේ ව්‍යසනය හමුවේ තමන් අසාර්ථක වූ බව යටි හිතින් පිළිගන්නා දේශපාලන බලවේගයට තමන්ගේ වගකීමෙන් බේරීමේ උපායමාර්ගයක් වශයෙන් පමණක්ය යන්න මේවා හරහා පැහැදිලි වේ. 

මීට පෙර කොරෝනා වෛරස් ව්‍යාප්තිය ජාතිවාදයට ඇමිනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රූපවාහිනී වැඩසටහනක් තුළ අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන්ට වෙනම මුදලක් හිමිවිය යුතු බව කීවේදී "ගහන්න ඕනෙ" කීවේත් මේ චතුර අල්විස්මය. 

සබැඳි පුවත් - 

චතුරලාගේ කෙරුවාව නිසා කොරෝනා ආසාදිතයින් සැඟවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයම පෙන්නයි

ලීක් වීඩියෝ : ජාතිවාදය පැතිරීම වෙනුවෙන් දෙරණේ චතුර වෙනම ගාණක් ඉල්ලයි