පොහොට්ටුවේ 69න් 30ක් අපේ. තනියම ගියොත් බලාගමු - කුඩා පක්ෂ නායකයෙක් කියලා !

පොහොට්ටුවේ 69න් 30ක් අපේ. තනියම ගියොත් බලාගමු - කුඩා පක්ෂ නායකයෙක් කියලා !

11 February 2020 06:36 pm

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ලක්ෂ 69ක මුළු ඡන්ද ප්‍රමාණය අතරින් ලක්ෂ 30ක්ම සපයා දුන්නේ තමන් ඇතුළු කුඩා පක්ෂ විසින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි පක්ෂයක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ නම් එය ඔවුන්ට දැකගත හැකිවනු ඇති බවත් එම පක්ෂයට සම්බන්ධ කුඩා පක්ෂයක නායකයකු විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුවට සම්බන්ධ කුඩා පක්ෂ වෙනමත් තරග කර පසුව එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මැති ඇමතිවරුන් පිරිසක් විසින් පක්ෂ නායකත්වය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු අතර පසුගිය සතියේදී මේ පිළිබඳව මාධ්‍ය ද වාර්තා කර තිබිණි. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොහොට්ටුවට සම්බන්ධ කුඩා පක්ෂ කිහිපයක නායකයින් පසුගිය සති අන්තයේදී දීර්ඝ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

එම සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් එයින් එක් පක්ෂයක නායකයකු "ඔය හැට නව ලක්ෂෙන් ලක්ෂ තිහක්ම හම්බුණේ අපි නිසා. පොහොට්ටුව හැදුවෙත් අපි, ඒක කරගෙන යන්නෙත් අපි. ශ්‍රී ලංකා එකෙන් ආපු උන්දැලාගෙ කයිවාරු විතරයි. මිනිස්සු ඉන්නේ අපිත් එක්ක. තනියෙන් යන්න ගියොත් එදාට බලාගමු. කාටත් එදාට තේරෙයි. අපෙ සමහරු තනියෙන් ගන්න ඡන්ද ගාණ එයාලට දිස්ත්‍රික්කෙක ඔක්කොටම එකතු වෙලාවත් ගන්න බෑ" යනුවෙන් සිය හිතවතුන් සමඟ ප්‍රකාශ කළ බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.