වෛශ්‍යාවගේ දිනපොත නැතිවීම නොහොත් රංජන්ගේ හඬපට ලීක්වීම

වෛශ්‍යාවගේ දිනපොත නැතිවීම නොහොත් රංජන්ගේ හඬපට ලීක්වීම

9 January 2020 11:42 am

අතීත කතාව - 

එකෝමත් එක කාලයක එක්තරා නගරයක වෛශ්‍යා වෘත්තියෙහි නියැළුණු සුප්‍රසිද්ධ කාන්තාවක සිටියේ ලු. ඉතාම ඉහළ මිල ගණන් අය කරමින් ඉහළම සේවාවක් සැපයූ ඇය හමුවට දිනපතා පැමිණෙන සේවාදායකයින්ගෙන් අඩුවක් වූයේ නැත. 

ඇය විනෝදාංශයක් ලෙස කළේ තමන් හමුවට පැමිණෙන පුද්ගලයින් පිළිබඳ විස්තර දින පොතක සටහන් තැබීමයි. ඔවුන් පැවසූ නොයෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳ නොයෙකුත් පුද්ගලයින් පිළිබඳ නොයෙකුත් රහස් ඒ ආකාරයෙන් ඇගේ දිනපොතෙහි සටහන්ව තිබිණි. 

එක්තරා දිනයක හදිසියේම ඇගේ මෙම දිනපොත අස්ථානගත විය. කොතෙකුත් සොයා බැලුව ද ඇයට එය සොයා ගැනීමට ලැබුණේ නැත. කෙසේවෙතත් දිනපොත නැතිවීම පිළිබඳ පුවත කටකතාවක් වශයෙන් දින කිහිපයක් තුළ මුළු නගරය පුරාම පැතිර ගියේය. 

නගරයේ සාමාන්‍ය ජනතාව ඇයගේ දිනපොත නැතිවීම ගැන නොයෙකුත් උසුළු විසුළු කතා කියමින් උපහාසයට අපහාසයට නඟමින් විනෝදවන අතරේ නගරයේ ඉහළම තළයේ විසූ ආදිපාදවරුන්ට, කුමාරවරුන්ට, ඉහළම වෙළඳුන්ට ගිනි ඇවිළී තිබිණි. ඔවුන් දින ගණනාවක් යනතුරු මඟටවත් බැස්සේ නැත. 

වර්තමාන කතාව - 

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තමන්ගේ සියලුම දුරකථන ඇමතුම් පටිගත කර තිබුණු අතර පසුගිය 04 වනදා පොලිසිය ඔහුගේ නිවස වටළා එකී සියලුම හඬපට අත් අඩංගුවට ගත්තේය. එහෙත් පසුදින වන විටම පොලිසියෙන් අත් අඩංගුවට ගත් බව කියූ හඬපටවලින් සමහරක් සමාජ මාධ්‍ය ජාල සහ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය වන්නට විය. 

මෙකී හඬපට මාධ්‍ය වෙත පැමිණි ආකාරය ගැන ආණ්ඩුවේම පාර්ශ්ව විවිධ කතා කියන්නට පටන් ගත් අතර උදය ගම්මන්පිල මහතා කියුවේ ඒවා ආණ්ඩුවේ දේශපාලනඥයකු වෙත රංජන්ගේම හිතවතෙකු විසින් ලබාදුන් බවකි. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ ඒවා කවුරුන් විසින් හෝ ත්‍රීරෝද රියක අමතකව දමා ගොස් තිබියදී එහි රියදුරුට ලැබී ඔහු විසින් පොලිසියට බාරදී ඇති බවත් පොලිසියට නොදී එකී ත්‍රිරෝද රථ රියදුරු ළඟ තබාගත් හඬපට ඔහු විසින් මාධ්‍ය වෙත ලබාදෙමින් සිටින බවත්ය. 

කෙසේවෙතත් මේ දිනවල එක්සත් ජාතික පක්ෂ විරෝධීන් සිටින්නේ රටේ සියලු ප්‍රශ්න අමතක කර හඬපට ඔස්සේ අමන්දානන්දයට පත් වෙමිනි. 

එහෙත් අප වෙත වාර්තා වන අන්දමට නම් රටේ ඉහළම දේශපාලනඥයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් මේ සම්බන්ධයෙන් මහත් කලබලයට පත්ව සිටිති. ඒ, මෙකී හඬපට ගබඩාව යනු දෙපැත්ත කැපෙනා ආයුධයක් බව ඔවුන් දන්නා නිසාය. රජයේ ඇමතිවරුන්ම පවසන ආකාරයට එහි ඇති සමස්ත ඇමතුම් සංඛ්‍යාව 127,000කි. එයින් තවම ලීක් වී ඇත්තේ 100කටත් අඩු ගණනකි. මාධ්‍යවල විකාශය වූ සංඛ්‍යාව ඊටත් අඩුය. 

ඒ අනුව පුරුද්දට මෙන් සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වන දේශපාලනඥයින් පිරිසක් හැරුණු විට රහස් හෙළිවුවහොත් තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් සිදුවෙතැයි හැඟීමක් ඇති ඉහළම දේශපාලනඥයින් සිටින්නේ මේ හඬපට සංදර්ශනය ගැන දැඩි කෝපයෙන් සහ සැකයෙන් යුතුව ගිනි පත්තු වීගෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මුල් දින දෙක තුළ විපක්ෂයේ දේශපාලනඥයින්ගේ සහ ආණ්ඩුවේ නොසතුටට හේතුවී සිටි නිලධාරීන්ගේ පමණක් රෙදි ගැළවුණු නමුත් ඊයේ (08) දිනය වනවිට ආණ්ඩුවේ ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ද කුණු එළියට ඇදෙන්නට පටන් ගෙන තිබේ. මෙය කොතැනින් කෙළවර වේදැයි කිසිවකු නොදන්නා අතර පහනට ගෙන්වාගත් භූතයා පාලනය කරගත නොහැකි තත්වයකට ආණ්ඩුව පත්වීමට ද ඉඩ නැතිවා නොවේ. 

ඒ අනුව අත්දැකීම් සහිත පළපුරුදු, ඉහළම දේශපාලකයින් මේ දේශපාලන සූදුවට තරයේ එරෙහි වෙමින් මෙන්ම මේ හඬපට කෙරුවාව නිසා මහත් කලබලයට ද පත්ව සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලු ය.