මර්වින්ගේ ඡන්ද කැම්පේන් එක මහින්දානන්ද බාර අරන් !

මර්වින්ගේ ඡන්ද කැම්පේන් එක මහින්දානන්ද බාර අරන් !

8 January 2020 04:17 pm

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් භාරගෙන ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ ආරංචියක් පැතිර යමින් පවතී. ඒ, මෙසේය. 

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් අනිවාර්යයෙන්ම තරග වදින බවත් තමන්ගේ තේමාව වන්නේ ගව ඝාතනය නතර කිරීම බවත් මර්වින් සිල්වා මහතා නිවේදනය කළේ පසුගිය ජනවාරි 03 වනදාය. දිවයිනේ කුමන දිස්ත්‍රික්කයකින් තරග කළ ද තමන්ගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බව පැවසූ ඒ මහතා තමන් තරග වදින්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් බවත් ඡන්ද ලකුණ පිළිබඳ තවමත් තීරණය කර නොමැති බවත් එදින මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. 

එයින් හරියටම සතියක් ගත වෙද්දී, ඊයේ, එනම් ජනවාරි 07 වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාව තමන්ව ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇති බවකි. තමන්ට මහත් ජීවිත තර්ජනයක් තිබුණු බවයි ඒ මහතා පාර්ලිමේන්තුවේදී පුන පුනා අවධාරණය කළේ. 

මහින්දානන්ද අලුත්ගමගේ යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉතාම ඉහළ ඡන්ද පදනමක් ඇති දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු දිවයින පුරාම ජනප්‍රිය, කටකාර දේශපාලනඥයකු ද වේ. 

එහෙයින් එවන් පුද්ගලයකුට තිබුණේ යැයි කියන මරණ තර්ජනය ඔස්සේ ගව ඝාතනයට එරෙහිව රට තුළ ප්‍රබල ජනමතයක් නිර්මාණය කළ හැකි හෙයින් මර්වින් සිල්වාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් භාරගෙන, පළමු පියවර ද දියත් කර ඇති ආකාරයක් පෙන්නුම් කෙරෙන බවයි දේශපාලන ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ.