අජිත් ප්‍රසන්නට විමල්ගේ සහ ගම්මන්පිලගේ දැඩි විරෝධය !

අජිත් ප්‍රසන්නට විමල්ගේ සහ ගම්මන්පිලගේ දැඩි විරෝධය !

3 December 2019 06:31 am

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙන මෙන් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් ඊයේ (02) උදෑසන සිට රාත්‍රිය දක්වා සිදුකළ උපවාසය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී කඳවුරේ දැඩි විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානි කිරීමට වෑයම් කළ බවට චෝදනා කරමින් ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව දීප ව්‍යාප්තව පුළුල් විරෝධයක් ගොඩනංවා, එය ජාත්‍යන්තරයට දැනෙන ආකාරයෙන් දැඩි විරෝධතාවක් වශයෙන් කොළඹදී ගොනු කළ යුතුව තිබියදී සහ ඒ සඳහා සැලසුම් සකස් කරමින් තිබියදී අජිත් ප්‍රසන්න මහතා පුද්ගලිකව කැපී පෙනීම සඳහා හුදෙකලාව තානාපති කාර්යාලය ඉදිරිපිට, ජන සහභාගීත්වයක් නොමැතිව උපවාසයක් සිදුකර පැය ගණනක් තුළ එය අතැර දැමීම තුළින් සමස්ත විරෝධතාවම දියාරු කළ බවට ඔවුන් චෝදනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බලපෑම් කරන අනෙකුත් බටහිර තානාපති කාර්යාලවලට ද පාඩමක් වන පරිද්දෙන් අති දැවැන්ත විරෝධතා පාගමනක්, භික්ෂූන් වහන්සේලා සහ ජාතිකවාදී කඳවුරේ ප්‍රබල දේශපාලනඥයින් සහභාගී වන මාරාන්තික උපවාසයක් දියත් කළ යුතු මොහොතක අජිත් ප්‍රසන්නගේ පැය 12 උපවාසය විහිළුවක් වීම නිසා අනෙකුත් තානාපති කාර්යාලවලට ද පාඩමක් ඉගැන්වීමට තිබුණු අවස්ථාව ගිළිහී ගිය බවත් ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්. 

අනෙක් අතට 69 ලක්ෂයක් ජනතාව ස්විස් තානාපති කාර්යාලයට දැනටමත් එරෙහිව සිටියදී අජිත් ප්‍රසන්න තනිව විරෝධතා දැක්වීමට ගොස් පැය කිහිපයක් තුළ හකුළා ගැනීම තුළින් රට තුළ ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව ඇති සැබෑ විරෝධය හෑල්ලුවට ලක්ව ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබේ. 

මේජර් අජිත් ප්‍රසන්න කැපී පෙනීමේ වුවමනාව වෙනුවෙන් මීට පෙර ද ප්‍රශ්න මතුවන ක්‍රියාකාරකම්වල නියැළී ඇති බවත් සිහිපත් කර ඇති ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවත් ආරංචි මාර්ග පැවසීය. 

ස්විස් තානාපතිවරයාට විරෝධය පළ කරමින් මේජර් අජිත් ප්‍රසන්න මහතා ඊයේ උදෑසන ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේම අවසන් කර තිබුණු අතර ඉන්පසුව බත්තරමුල්ල කොත්තු කඩයෙන් කොකාකෝලා සමඟ කොත්තු රොටී ආහාරයට ගන්නා ඡායාරූපයක් ඔහු විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කර තිබිණි.