සේනානායක මුණුපුරා අද ගෝඨාගේ වේදිකාවේ ! හෙට කොතන ඉඳීද ?

සේනානායක මුණුපුරා අද ගෝඨාගේ වේදිකාවේ ! හෙට කොතන ඉඳීද ?

8 November 2019 05:19 pm

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (08) පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂ්ක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීම සඳහා නිළ වශයෙන් එකතු වී තිබේ. ඒ අනුව සේනානායක මහතා, පොළොන්නරුව මනම්පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළිය සඳහා එකතු වී තිබේ.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ තමන් මින් ඉදිරියට කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය හා එක් නොවන බවයි. ඒ අනුව ඉදිරි දේශපාලන ජීවිතය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් තීන්දුවක් ගන්නා බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහුගේ දේශපාලන තීන්දුව දින කිහිපයකින් ප්‍රමාද විය. ඊට හේතුව දිනෙන් දින පක්ෂ මාරු කරන වසන්ත සේනානායක මහතා එදා මාධ්‍ය හමුව පවත්වන විට සිටියේ කුමන් පක්ෂයේද යන්න නිශ්චිතව ඔහු පවා නොදැන සිටීමයි. මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ඔහු සිය ලේකම්වරයාගෙන් අසා ඇත්තේ තමා දැනට සිටින්නේ කුමන් පක්ෂයේද යන්න නිශ්චිතව ප්‍රකාශ කරන ලෙසයි. ලේකම්වරයා ඊට සෘජු පිළිතුරක් ලබාදීමට අසමත් වී ඇති අතර ඉන්පසු රාජ්‍ය ඇමතිවරයා සහ ලේකම්වරයා එකතු වී සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් පසුව ඒ මොහොතේ වසන්ත සේනානායක මහතා සිටින්නේ කුමන පක්ෂයේද යන්න අනාවරණය කරගෙන තිබේ.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මාධ්‍ය හමුව සහ වසන්ත සේනානායක මහතා දැනට සිටින පක්ෂය කුමක්ද යන්න හරියටම නිශ්චය කරගන්නා අතර කාලය තුළ ද වසන්ත සේනානායක මහතා එක් වරක් පක්ෂය මාරු කර ඇති බවයි.

කෙසේ හෝ අද පෙරවරුව වනවිට වසන්ත සේනානායක මහතා මේ වනවිට සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව ඇමතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා අනාවරණය කරගෙන ඇති අතර ඒ මොහො‍තේම වසන්ත සේනානායක මහතා ගෝඨා පාර්ශ්වය වෙත දන්වා ඇත්තේ තමා අද සවස ගෝඨාගේ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බවයි.

දැන් ඉතිං ගෝඨා පාර්ශ්වයට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු පසෙක තබා වසන්ත සේනානායක පිළිබඳව නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටීමට සිදුව තිබේ. ඒ ඔහු කොයිවෙලේ නැවතත් එජාපයට කරණම් ගසන්නේද යන්න පිළිබඳවය. වසන්ත සේනානායක මහතා හෙට දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ ප්‍රාදුර්භූත වුවහොත් පුදුම වියයුතු නැත.

එජාපය, පොහොට්ටුව පමණක් නොව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අනෙකුත් පක්ෂ ද තමන්ගේ වේදිකාවේ අමතර පුටුවක් සූදානම් කර තබා ගැනීම එම දේශපාලන පක්ෂවල නායකයන්ගේ මෙන්ම ලෝක වාර්තාලාභී වසන්ත සේනානායක ගරු රාජ්‍ය ඇමතිතුමාගේ ද ඇඟට ගුණය.

ඒ ඔහු ඉතා කෙටි කාලසීමාවකදී වැඩිම වාර ගණනක් පක්ෂ මාරු කළ දේශපාලනඥයාට හිමි ලෝක වාර්තාවේ හිමිකරුවා වන බැවිනි.