ගෝඨාගේ තත්වය තරමක් හොඳ අතට. දැන් එච්චර ලීක් නෑ !

ගෝඨාගේ තත්වය තරමක් හොඳ අතට. දැන් එච්චර ලීක් නෑ !

19 September 2019 07:51 am

සිය නිවසේ සිදුවන දෑ පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි වෙත ලබාදෙන්නේය යන සැකය මත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නිවසේ සේවය කළ සියලුම සේවකයින් ඉවත් කර වෙනම පිරිසක් ඒ සඳහා බඳවාගෙන තිබේ. 

තමන්ගේ නිවස තුළ සිදුවන දෑ සමාජ මාධ්‍ය ජාල තුළ සහ වෙබ් අඩවිවල පළ වීම ගෝඨාට දරුණු ප්‍රශ්නයක් වී තිබිණි. 

කෙසේවෙතත් ගෝඨාගේ මේ දිනවල ක්‍රියාකලාපය පිළිබඳව පසුගිය දිනක මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු උත්ප්‍රාසය ද කැටිකරමින් තීරණාත්මක ප්‍රශ්නයක් අසා තිබිණි. ඒ, "ගෙවල්වලටම වෙලා ඉඳගෙන ඡන්දෙ කරන්නේ කොහොමද ?" යනුවෙනි. 

ඊට පිළිතුරු ලෙසින් "ගෙදර තමා ඉස්සෙල්ලම හදාගන්න ඕනේ. මේකෙ ඉන්න එවුන් මෙතන වෙන හැම එකම සෝශල් මීඩියාවලටයි වෙබ්සයිට් වලටයි ලීක් කරනවා. මෙව්වා මෙහෙම වෙන්න දෙන්න බෑනෙ. මං ගෙදර අතුගාන මනුස්සයාගෙ ඉඳන් ඔක්කොම මාරු කළා" යැයි පිළිතුරු දී තිබිණි. 

ගෝ‍ඨාභය රාජපක්ෂ මහතාගේ නිවස තුළදී මහින්ද රාජපක්ෂ මහතා තේ කෝප්පයක් පොළවේ ගැසීම, ගෝඨා - කබීර් රහස් හමුව, ගෝඨා - සාගල රහස් හමුව, ඒ හමු දෙකම සිදුවන මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා ද ගොඨාගේ ගෙතුළ සිටීම වැනි සිද්ධි ගණනාවක් අපිත් මීට පෙර වාර්තා කළෙමු. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ආරක්ෂක ක්‍රියාපිළිවෙතට සුබපතමින් අපට කියන්නට ඇත්තේ එය සාර්ථක බවත් දැන් අපට ඉස්සර තරම් ගෝඨාගේ නිවසේ තොරතුරු නොලැබෙන බවත්ය.