කරූව ඉල්ලන්න ආ හිමිවරුන්ට රනිල්ගෙන් අපූරු පිළිතුරක්

කරූව ඉල්ලන්න ආ හිමිවරුන්ට රනිල්ගෙන් අපූරු පිළිතුරක්

15 September 2019 08:35 am

එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කරූ ජයසූරිය මහතාව පත් කරන්නැයි ඉල්ලා සිටීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (14) අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී තිබිණි. 

එහිදී එම භික්ෂූන් වහන්සේලා කථානායක කරූ ජයසූරිය මහතා අනාගත ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට අවශ්‍ය ඇයිද යන්න පිළිබඳව සහ ඒ මහතාගේ සුදුසුකම් ද දීර්ඝ වශයෙන් සඳහන් කරමින් කළ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා සාවධානව අසාගෙන සිට ඇත. 

එකී භික්ෂූන් වහන්සේලා අවසාන වශයෙන් රනිල්ට පවසා ඇත්තේ සංඝ රත්නයේ ඉල්ලීමට රනිල් ගරු කළ යුතු බවය. 

සියල්ල නිහඬව අසා සිටි රනිල් ඒ මොහොතේදී පිළිතුරු දෙමින් "යෝජනාව නම් හොඳයි අපෙ හාමුදුරුවනේ. ඒ වුණාට මේ දයා ගමගේ එහෙමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමැත්තෙන් ඉන්නවානෙ. අපි ඒ ඔක්කොම සලකලා බලලා සුදුසු වෙලාවට සුදුසු තීරණයක් ගන්නම්" පවසා ඇත. 

ඒ අවස්ථාවේදී එම භික්ෂූන් පිරිස අන්ද මන්ද වී බලාගෙන සිට ඇත්තේ රනිල් මේ කියන්නේ කුමක්ද යන්න පිළිබඳවය. 

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නවලට භික්ෂූන් වහන්සේලා මැදිහත් නොවිය යුතු බව රනිල් වහෙන් ඔරෝ භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ ඒ ආකාරයටය. 

දුර්වලතා ගණනාවක් මැද වුව ද පක්ෂ අභ්‍යන්තර කටයුතුවලට භික්ෂූන් මැදිහත් වීමට දරණ උත්සාහයට උත්ප්‍රාසාත්මක ලෙස හෝ එවන් ප්‍රතිචාරයක් දැක්වීම අගය කළ යුතුය.