සජිත්ගෙ කාර් එක කැඩිලා, මේ දවස්වල යන්නෙ එන්නෙ ජනාධිපතිගෙ කාර් එකේ !

සජිත්ගෙ කාර් එක කැඩිලා, මේ දවස්වල යන්නෙ එන්නෙ ජනාධිපතිගෙ කාර් එකේ !

13 September 2019 01:09 pm

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා මේ දිනවල රටවටා රැස්වීම් පවත්වමින් යන සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මාර අකරතැබ්බයකට මුහුණදීමට සිදුව තිබේ. ඒ සිය නිළ රථය ලෙඩවීම හේතුවෙනි.

මේ දිනවල සිය නිළ රථය ලෙඩවීම නිසා සජිත් ප්‍රේමදාස මහතා වැටී ඇති අමාරුවෙන් ගොඩ ගැනීම සඳහා ඔහුගේ පක්ෂයෙන් හෝ කිසිදු සහායක් නොලැබෙද්දී සජිත්ගේ සහායට පැමිණ ඇත්තේ එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඒ මේ රටේ මුල් පුරවැසියාය.

සජිත්ගේ නිළ රථය ලෙඩවීමද අපූරුය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිළ රථය හැමදාම ලෙඩ දෙන්නට පටන් ගන්නේ පැජට් පාරේ හෝ පැජට් පාර අසලින් ගමන් ගන්නා විට පමණි. සිය නිළ රථය ලෙඩ දෙන්නට පටන් ගත් සැනින් ඔහුට සිහිපත් වන්නේ සැජට් පාරේ ජීවත් වන මෙරට මුල් පුරවැසියාය. එසැනින් ජනාධිපති නිළ නිවෙස වෙත ගමන් කරන සජිත් ප්‍රේමදාස මහතාගේ පිහිටට ඉදිරිපත් වන්නේ ජනාධිපතිවරයා‍ගේ නිළ රථයයි. 

ජනාධිපති නිළ නිවෙස වෙත පැමිණෙන සජිත් තමන්ට අවශ්‍ය සියලු ගමන් බිමන් යන්නේ ජනාධිපතිවරයාගේ නිළ රථයෙනි.

පසුගිය කැබිනට් රැස්වීම සඳහා ඔහු ආවේ ගියේද ජනාධිපතිවරයා සමග ජනාධිපතිවරයාගේ නිළ රථයෙනි. එසේම ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන රැස්වීම් සඳහා මෙන්ම ඊයේ පැවති සංස්කෘතික අමාත්‍යංශයේ රැස්වීම සඳහාද ආවේ ගියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමගම ජනාධිපති නිළ රථයෙනි.

ජනාධිපතිවරයාට ද දැන් සිදුව තිබෙන්නේ සියලු කටයුතු පසෙක ලා සජිත් ප්‍රේමදාස මහතාගේ රථාචාරියා වීමටයි.

මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කාර්යාලයට ද සුපුරුදු දසුනක් වන අතර අද වනවිට ජනාධිපති කොතැනද සජිත් ප්‍රේමදාස මහතා ද එතැනය.

2015 වසර මුල සිට රටේ ජනතාව මෙන්ම එජාප පාක්ෂිකයන්ද කතාකළේ රනිල් - මෛත්‍රී යුගයක් පිළිබඳවය. කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය පුරා සිදු වූ සිදුවීම් හේතුවෙන් සහ විශේෂයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් කුමන්ත්‍රණය හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව එජාප පාක්ෂිකයන් කළකිරීමෙන් සිටී.

එසේ යූඇන්පී පාක්ෂිකයා අත් දෙකම ඔසවා ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන මහතාව අද කරේ තබාගෙන යන්නේ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාය. දැන් කතාව රනිල්-මෛත්‍රී යුගයක් පිළිබඳව නොව සජිත්-මෛත්‍රී යුගයක් පිළිබඳවය.

සජිත්-මෛත්‍රී යුගයක් පිළිබඳව සිහින දකිමින් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ඉල්ලා, ඒ වෙනුවෙන් හඬා වැලපීම නම් කිසිවෙකුට තේරුම් ගත නොහැකි උභතෝකෝටිකයකි.